Monday, May 23, 2016

දෙකොනේ හදවත් යළි යළිත් මරණ (සැ)මැරුම්


අප විසින් ජීවිත කාලය පුරා සිදුකරන සැමරීම් විවිධය. බොහෝමයක් සැමරුම් යම් විශේෂ සිද්ධියක් වෙනුවෙන් සතුට සැමරීමකි.
"To do something special or enjoyable for an important event, occasion, holiday etc."
-webster dictionary
මේ අනුව සැමරීමක් යනු යම් වැදගත් සිද්ධියක් හෝ අවස්ථාවක් වෙනුවෙන් සුවිශේෂි හෝ සංතෝෂජනක දෙයක් සිදුකිරීමයි.
ශ්‍රී ලංකාවේ මැයි 1 දින සැමරුමෙන් පසු සිදුකළ විශේෂ සැමරීම සිදුවූයේ මැයි 18 දිනයි. එය විරුදින සැමරුම, ජන සංහාර සැමරුම, මහවිරුදින සැමරුම, විජයග්‍රහණයේ සැමරුම යනාදි ලෙස සැමරණි. කුමන නමකින් හැඳින්වුව ද අපිට මතුවන ගැටලුව නම් යුද්ධයක් සැමරිය හැකිද? යුද්ධයක් සැමරිය යුතුද? යන්නයි. මන්ද සැබෑ ලෙසම යුද්ධයකින් ජයග්‍රාහකයින් හෝ පරාජිතයින් තෝරාගත නොහැකිය. යුද්ධයක් කළ සියල්ලෝම පරාජිතයෝය. අති විශාල මානව ජීවිත හා භෞතික සම්පත් විනාශ වන, ස්වභාදහම පවා විනාශ කෙරෙන සිද්ධිදාමයකට ඡත්‍ර පදයක් ලෙස එය හැඳින්වූවාට වරදක් නැත.
එකම සිද්ධියකට ප්‍රතිවිරුද්ධ පාර්ශවයන් විසින් එකිනෙකට වෙනස් තේමාවන් හා අර්ථකථනයන් ලබා දෙමින් එකම රටක කණ්ඩායම්ගතව කරන සැමරීම තුළ සිදුවන්නේ වෛරය ඉස්මතු වීම පමණකි. එවැන්නක් පසුගිය දා ශ්‍රී ලංකාවේදී සැමරිණි. ඒ තිස් වසරක යුද්ධය නිමා වූ දිනය මුල් කොට ගෙනය. නමුත් මෙහි ඛේදවාචකය වන්නේ ඔවුන් සමරනු ලැබුවේ ගොරහැඬි, අප්‍රසන්න යුද්ධයක් නිමා වීමෙන් ලද සැනසීමේ ප්‍රීතිය නොවීමයි. ජයග්‍රහණයන්, පරාජයන් සැමරීම සිදු කරනු ලැබුවේ යුද්ධයෙන් මියගිය ඥාතීන්ගේ නාමයෙනි. අරමුණු දෙකක් වෙනුවෙන් සටන් වැදුනු දෙපිරිසක් සැමරීම තුළ ද ජාතිවාදය, වෛරය ඉස්මතු වී හැර සිදුවන සෙතක් නැත.

ඇතැම් මාධ්‍ය මෙවැනි දෑ ජනතාව ප්‍රකෝප වන අයුරින් වාර්තා කිරීමට ද නොපැකිලෙයි. නිදසුනක් ලෙස,
" යාපනය විශ්වවිද්‍යාලයේ කොටි සමරු උත්සවයක් සංවිධානය කර ඇතැයි වාර්තා වේ. කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු මියගිය කොටි නායකයන් මෙහි සමරනු ඇති බවටයි වාර්තා ගත වන්නේ. ඊලාම් සිහිනය එහි ප්‍රදර්ශනය කර තිබෙනවා"
මෙම ප්‍රවෘත්තිය ඇස ගැටෙන සිංහලයින් බොහෝ දෙනෙකු කුපිත වන ආකාරයටම සිංහලයින්ගේ සැමරීම් දෙමළ ජනතාව ප්‍රකෝප කරයි. ඒ අනුව මෙය ජාතික සමඟියට තර්ජනයක් වන තත්වයට පත්ව ඇත.
ජනපති ප්‍රමුඛ රජය කොළඹ නඟරයේත්, දෙමළ සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම් මහතා මහා විරු දිනය නමින් යාපනය නල්ලූර් කෝවිල ඉදිරිපිටත්,උතුරු පළාත් සභා ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මුලතිව් වෙල්ලමුල්ලිවෛකාල්හිදිත් සැමරුම් සිදු කලේය.

සැමරුමට හේතුව වූ යුද්ධයට හේතු විමසූ විට යුද්ධයක් යනු එක් වරම ඉබේ පහලවන්නක් නොවන බව හඳුනාගත හැකිය. එයට හේතු වූ පසුබිම පිළිබඳව අවධානය යොමු කළ යුතු වන්නේ ජාතිවාදී රාමුවෙන් පිට සිටයි. සමාජයක ඉතිහාසය පිළිබඳ අවසාන තීන්දුව බොහෝවිට එම සමාජයෙහි අධිපති පන්තිය නියෝජනය කරන ජාතිය විසින් දෙනු ලබයි.පීඩිත පන්ති අරගලය දුර්වල වූ විට සමාජයේ ප්‍රතිගාමී නිර්වචනයන් බලහත්කාරී ලෙස අධිපති පන්තිය විසින් අතුගා දමනු ලබයි. 83 කලු ජූලිය පිළිබඳ කතන්දරයද එම න්‍යායට අනුව නිර්මාණය හුදු කතන්දරයක්ම පමණි. 1958, 1977, 1981 වර්ෂයන්හි සිදු වූ දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා, මානව හිමිකම් උල්ලංඝනයන්, ලිංගික අතවර, දෙමළ ගම්බිම් හමුදාකරණය, හමුදාමය මර්දනයන්, ඉඩම් හා දේපළ කොල්ලය සහ සංස්කෘතික විනාශය ආදිය අනන්‍යතා ආරක්ෂා කරගැනීමේ අරගලයකට අතවැනීමක් විය.

දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ (LTTE) නාමයෙන් රාජ්‍ය විසින් පුද්ගල පෙලඹවීම් උපක්‍රම භාවිත කිරීම මෙන්ම දේශපාලන හා පෞද්ගලික පලිගැනීම් ද සිදු කෙරුණි. එක් පාර්ෂවයක් විසින් තමන් කළ අපරාධ සම්බන්ධයෙන් අවංක හැරී බැලීමක් සිදුකීරීම තුළින් අනෙක් පාර්ෂවයට ද එවැනි දේකට පෙළඹවීමක් සිදුවෙයි. මහා ජන සංහාරයෙන් අරගලය පරාජය කොට එක් කොටසක් රටේ එක් පසෙකට තල්ලුකොට ප්‍රජාතන්ත්‍රවාදය බුක්තිවිඳිය හැකි යැයි සිතීම විහිලුවකි.
යුද්ධයකට හේතු සකස්කර දෙන ජාතිවාදී ක්‍රියා පසෙකලා සකල ජනතාවගේ වරප්‍රසාද පොදු සම්මුතියක් තුළ ඉටුකළ යුතු කාලය එළඹ ඇත. කුඩා කළ සිට දරුවන්ට ලබා දෙන අධ්‍යාපන ක්‍රමවේදය ද ගෝත්‍රිකවාදයෙන් බැහැරව ජාතික සමඟිය කුළුගැන්වෙන ආකාරයෙන් සකස්විය යුතුය. එතුළින් යුද්ධයක් සැමරීම වැනි ඕලාරික පුහු දෑ සිදුකිරීමට ඔවුන් කිසිසේත් නොසිතනු ඇත.
මේ වන විට ශ්‍රී ලංකාවේ උද්ගතව ඇති ආපදා තත්වය නිසා පීඩිත වූ ජනතාවට සහන සැලසීමට උතුරේ ජනතාවගේ ද සහය ලබා ගැනීම සේම උතුරේ ජල ගැලීම් ඇති වීම් පිළිබඳ සොයා බලා එවන් අවස්ථාවක ජාති බේද නොසලකා සහය ලබා ගැනීම වැනි දෑ තුළින් ජාතික සමඟිය ඉස්මතු කළ හැකිය.
යුද්ධයෙන් මිය ගිය අයට හෝ අාබාධිත අයට යුධ සැමරුම් තුළින් වන සෙතක් නැත. නැවතත් යුද්ධයක් ඇති වන තැනට හේතු නිර්මාණය කිරීම යටකී පිරිසට සිදුකරන අගෞරවයකි. නින්දාවකි. පොදුවේ යුද්ධයෙන් පීඩිත වුණු තවමත් පීඩා විඳින පිරිස වෙනුවෙන් කළ හැකි කාර්යයන් පසෙකලා වෛරයේ ගිනි දැල් අවුලුවන බොළඳ සැමරුම් නතරකිරීම තුළින් ඉන් අත්වන වාසි රටේ සංවර්ධන කාර්යයට ඉවහල් කරගත හැකිය.

Saturday, May 14, 2016

හමුදා පුහුණුව හරහා නරියාට මිදි තිත්තවීම හා නවක වදය

වර්තමානයේ ශ්රී ලංකාවේ වැඩි පුර කතාබහට ලක්වන මාතෘකා අතරින්'නවකවදය' (Ragging)යන්න ප්රමුඛ වේ. ශ්රී ලංකාව, බංගලාදේශය, පාකිස්තානය හා ඉන්දියාව යන රටවල Ragging යනුවෙන් හඳුන්වන මෙය ඇමරිකාව, බ්රිතාන්‍ය වැනි රටවල හේසිං(Hazing) යනුවෙන් භාවිත වෙයි.
කණ්ඩායම්හි පවත්නා සමඟිය හා එකමුතුභාවය තුළින් පැවැත්ම රඳවා ගැනීම වෙනුවෙන් අතීත ග්රීක සමාජය තුළ නවකයින් පිළිගැනීමේදී විවිධ සරදම් හා සමච්චල් තිබුණු බව පැවසෙයි. පසුව හමුදා පුහුණු බලකාවලට ද පසුව උසස් අධ්‍යාපන ආයතනවලට ද සංක්රමණය විය. ඒ පළමු ලෝක සංග්රාමය නිමා වීමත් සමඟයි.
උසස් අධ්‍යාපන ආයතනවලට සංක්‍රමණය වූ සොල්දාදුවන් මඟින් මෙය න්‍යාප්ත වන්නට ඇතැයි සැළකෙයි. බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලවල රාජකීය පවුල්වල පුද්ගලයින් පිළිගැනීම සඳහා තිබුණු Royal Admission Game (රාජකීයයන් ඇතුළු කරගැනීමේ ක්‍රීඩාව) යන්නෙහි මුල් අකුරු තුන එක්වීමෙන් Rag යන වචනය නිර්මාණය වී ඇත. මෙය ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයන් වෙතට පැමිණ ඇත්තේ බ්‍රිතාන්‍ය ආභාශයෙනි.
නවක ශිෂ්‍යයෙකු සරසවියට ඇතුළු වූ මුල් මාස කිහිපය තුළ 'නවකවදය' ක්රියාත්මක වෙයි. නවක ශිෂ්‍යයින් සමාජානුයෝජනය කිරීම සඳහා භාවිත වුණු මිහිරි මතක සමුදායක් එක්තැන් කළ සොඳුරුතම කාල පරිච්ඡේදය වූයේ මෙයයි.
ලංකාවේ Ragging සඳහා 'නවක වදය' යන නාමකරණය එහි සැබෑ ස්වරූපය හා ගැලපේ දැයි ගැටලුවක් පවතී. වර්තමානයේ මේ සම්බන්ධයෙන් ගොඩනැඟී ඇති සමාජ භීතිකාවට ද ප්‍රමුඛතම හේතුවක් වන්නේ මෙය වියහැකිය. නවකවදය ස්වරූප දෙකකින් දැක්විය හැකිය.
1. සුළු නවක වදය
2. උග්‍ර නවක වදය

සුළු නවක වදය
වාචික හිරිහැර
ප්‍රශ්න ඇසීම්
බලහත්කාරයෙන් ගරු බුහුමන් හිමිකර ගැනීම
කතා කිරීමේ අයිතිය සීමා කිරීම
කවට රංගනයන් කිරීමට පෙළඹවීම
විශේෂිත අයුරින් ඇඳුම් ඇඳීමට බල කිරීම

උග්‍ර නවක වදය
ලිංගික හිංසනය
නිරුවත් කිරීම්
ලිංගික ක්‍රියාවල යෙදවීම
කායික හිංසන
කටුක ව්‍යායාම

නවක වදය ක්‍රියාත්මක වන මුල් සති කිහිපය 'මල් සමය' ලෙස හඳුන්වයි. කණ්ඩායම් මිතුරු මිතුරියන් සමඟ අන්‍යෝන්‍ය සම්බන්ධය වැඩිකර වීම සඳහා සමකාලිනයන්ගේ නම් ගම් ආදිය මතක තබා ගැනීම ද මුල් සති කිහිපය තුළ සිදුකරයි.
නවක වදය යනුවෙන් ක්‍රියාත්මක වන ක්‍රියාවලිය විශ්වවිද්‍යාල උප සංස්කෘතියේ අංගයකි. උප සංස්කෘතියක් යනු පොදු සංස්කෘතිය පිළිගන්නා අතරම එයින් පැහැදිළිව වෙනස් වූ සිරිත් විරිත් හා සම්ප්‍රධායන්ගෙන් යුක්ත වූ ජන කණ්ඩායමක හැසිරීමටයි. උප සංස්කෘතින් යටතේ උප භාෂා ද අැතිවෙයි. බකට් කිරීම, ගජේ ගැසීම, ගැට්ට, ජෙප්පො, කොක්ක, ක්‍රෑම, කුප්පි දැමීම වැනි වචන විශ්වවිද්‍යාල උප සංස්කෘතිය තුළ වෙයි.
පොදු සංස්කෘතික සමාජයේ පවත්නා ගතානුගතික ගතිලක්ෂණ සහිත සමාජයක හැදුනු වැඩුනු බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශ්වවිද්‍යාල උප සංස්කෘතිය තුළ සමඟියෙන්, සහයෝගයෙන් හා සමානාත්මතාවයෙන් කටයුතු කිරීමට පෙළඹෙයි. මේ සඳහා විශාල කාර්යයක් 'නවක වදය' යනුවෙන් හඳුන්වන කාල පරිච්ඡේදය තුළ සිදු කෙරෙයි. බොහෝ විශ්වවිද්‍යාලහි 'වැඩ පහ' යනුවෙන් හඳුන්වන සාමූහික ක්‍රියාකාරකම් සිදුකෙරෙන්නේ ද මේ යටතේය. ශ්‍රමදානයක්, පැදුරු සාජ්ජයක්, ප්‍රදර්ශනයක්, අවුරුදු උත්සවයක් හෝ දානමය පිංකමක් සංවිධානය කිරීමක් වැනි දෑ මෙයට අයත් වෙයි.
එමඟින් ශිෂ්‍යයින් පොත පතින් ලබන න්‍යායාත්මක දැනුමට වඩා වැඩි සමාජ දැනුමක් ලබා ගනියි. එම නිසා මෙය කිසිසේත්ම සාමාන්‍ය සමාජය අර්ථ ගන්වන අයුරින් හිංසනයක්, පලිගැනීමක් හෝ පරක පීඩක කාමුකත්වය ක්‍රියාත්මකවීමක් නොවේ.
නවක වදය ක්‍රියාත්මක වන කාලපරිච්ඡේදය තුළ ඇඳ පැළඳිය යුතු ආකාරය පිළිබද ජ්‍යේෂ්ඨයින් විසින් නීති පැනවීම , 19 වන සියවසේ බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල වරම් ලැබූ රාජකීයයන් මුල්වරට විශ්වවිද්‍යාලයට ඇතුළු වීමේදී වැරහැලි ඇන්දවීමේ සිදුවීම සිහිපත් කරයි.
මෙහිදී ඇඳිය යුතු ඇඳුම් යම් අවලක්ෂණ ස්වරෑපයක් ගනියි. ඉතා චාම්ය. උදා : ගැහැණු ළමුන් දිග සාය, හිස තෙල් ගා පීරා ගොතා තිබීම, පිරිමි ළමුන්ට දිග කලිසම් හා අත් දිග කමීස
මෝඩ දෑ සිදුකරවීම ද නවක වදයෙහි කොටසකි. එනම් හාස්‍ය ජනක කතා පැවැත්වීම්, විරුද්ධ ලිංගිකයෙකුට විවාහ යෝජනා කිරීම්, වචන කපා ගැනීම, ගසකට හාදු දීම, පිරිසිදු සිංහල භාෂාවෙන් කතා කිරීම් වැනි දේ ය . මෙවැනි ක්‍රියාකාරකම් වදයක් ලෙස නොව විනෝදයක් ලෙස හැඟෙන අතර සදා සොඳුරු මතකයන් අතරට ද එක්වෙයි. සරසවි ප්‍රවේශය ලැබීමේ තරඟ විභාගයට සාර්ථකව මුහුණ දීමට දරුවන් පෙළඹවීම සඳහා යොදා ගන්නා එක්තරා උපක්‍රමයක් ලෙස නවකවදය කාල පරිච්ඡේදයේ සිදුවන රසවත් සිදුවීම් විස්තර කිරීම යොදා ගැනුණි.

'නවක වදය' යන්න සමජය අර්ථකථනය කරන 'වදය' යන අර්ථයෙන් ගත්තද එය පවතින්නේ සරසවියේ පමණක් නොවේ. බොහෝ ආයතනවල සහ ව්‍යාපාරික ස්ථානවල ද අඩුවැඩි වශයෙන් ක්‍රියාත්මක වෙයි. මිනිසාට උපතේ සිට මුහුණු පෑමට සිදුවන සමාජීය වද බන්ධන සේම, දෙමව්පිය බලාපොරෝත්තු ඉටුකර දීමට සිදුවීම වැනි දහසකුත් පීඩනයන් හමුවේ මාස කිහිපයකට පමණක් සීමා වූ එකම තාවකාලික වදය ඔවුනට සොඳුරු ලෙස දැනෙයි. නැතිනම් එය ගාණනාක්වත් නැත.එය දඬුවම් ක්‍රමයක් ද නොවේ.
විශ්වවිද්‍යාලයට පැමිණෙන නවකයින් එහි පරිසරයට හැඩගැස්වීම සේම, සමාජයේ විවිධ මතවාදයන් දරණ පුද්ගලයින් සමඟ එක්ව කටයුතු කිරීමට පුහුණුකිරීමේ නම්නීකරණ වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක විය යුතු අතර උග්‍ර නවකවදය නතර විය යුතුයි. එය නිසි ලෙස සමාජානුයෝජනය නොවූ රැග් නොවූ පිරිසකගේ අන්තවාදී පෙළඹවීමකි.

නවකවදය විඳි බොහෝ අයට එය මතකයේ සදා පවතින මල් සමයක්මය. නවකවදය එපා යැයි සමාජයේ කෑ මොර දෙන පිරිසෙන් බොහෝ දෙනෙක් රාජ්‍ය විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොලැබූ නවක වදය අත් නොවිඳි පිරිසයි.එසේ නම් එය නරියා මිදි තිත්තයි කියූ කතාවට සම නොවන්නේද?..