Saturday, May 14, 2016

හමුදා පුහුණුව හරහා නරියාට මිදි තිත්තවීම හා නවක වදය

වර්තමානයේ ශ්රී ලංකාවේ වැඩි පුර කතාබහට ලක්වන මාතෘකා අතරින්'නවකවදය' (Ragging)යන්න ප්රමුඛ වේ. ශ්රී ලංකාව, බංගලාදේශය, පාකිස්තානය හා ඉන්දියාව යන රටවල Ragging යනුවෙන් හඳුන්වන මෙය ඇමරිකාව, බ්රිතාන්‍ය වැනි රටවල හේසිං(Hazing) යනුවෙන් භාවිත වෙයි.
කණ්ඩායම්හි පවත්නා සමඟිය හා එකමුතුභාවය තුළින් පැවැත්ම රඳවා ගැනීම වෙනුවෙන් අතීත ග්රීක සමාජය තුළ නවකයින් පිළිගැනීමේදී විවිධ සරදම් හා සමච්චල් තිබුණු බව පැවසෙයි. පසුව හමුදා පුහුණු බලකාවලට ද පසුව උසස් අධ්‍යාපන ආයතනවලට ද සංක්රමණය විය. ඒ පළමු ලෝක සංග්රාමය නිමා වීමත් සමඟයි.
උසස් අධ්‍යාපන ආයතනවලට සංක්‍රමණය වූ සොල්දාදුවන් මඟින් මෙය න්‍යාප්ත වන්නට ඇතැයි සැළකෙයි. බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලවල රාජකීය පවුල්වල පුද්ගලයින් පිළිගැනීම සඳහා තිබුණු Royal Admission Game (රාජකීයයන් ඇතුළු කරගැනීමේ ක්‍රීඩාව) යන්නෙහි මුල් අකුරු තුන එක්වීමෙන් Rag යන වචනය නිර්මාණය වී ඇත. මෙය ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයන් වෙතට පැමිණ ඇත්තේ බ්‍රිතාන්‍ය ආභාශයෙනි.
නවක ශිෂ්‍යයෙකු සරසවියට ඇතුළු වූ මුල් මාස කිහිපය තුළ 'නවකවදය' ක්රියාත්මක වෙයි. නවක ශිෂ්‍යයින් සමාජානුයෝජනය කිරීම සඳහා භාවිත වුණු මිහිරි මතක සමුදායක් එක්තැන් කළ සොඳුරුතම කාල පරිච්ඡේදය වූයේ මෙයයි.
ලංකාවේ Ragging සඳහා 'නවක වදය' යන නාමකරණය එහි සැබෑ ස්වරූපය හා ගැලපේ දැයි ගැටලුවක් පවතී. වර්තමානයේ මේ සම්බන්ධයෙන් ගොඩනැඟී ඇති සමාජ භීතිකාවට ද ප්‍රමුඛතම හේතුවක් වන්නේ මෙය වියහැකිය. නවකවදය ස්වරූප දෙකකින් දැක්විය හැකිය.
1. සුළු නවක වදය
2. උග්‍ර නවක වදය

සුළු නවක වදය
වාචික හිරිහැර
ප්‍රශ්න ඇසීම්
බලහත්කාරයෙන් ගරු බුහුමන් හිමිකර ගැනීම
කතා කිරීමේ අයිතිය සීමා කිරීම
කවට රංගනයන් කිරීමට පෙළඹවීම
විශේෂිත අයුරින් ඇඳුම් ඇඳීමට බල කිරීම

උග්‍ර නවක වදය
ලිංගික හිංසනය
නිරුවත් කිරීම්
ලිංගික ක්‍රියාවල යෙදවීම
කායික හිංසන
කටුක ව්‍යායාම

නවක වදය ක්‍රියාත්මක වන මුල් සති කිහිපය 'මල් සමය' ලෙස හඳුන්වයි. කණ්ඩායම් මිතුරු මිතුරියන් සමඟ අන්‍යෝන්‍ය සම්බන්ධය වැඩිකර වීම සඳහා සමකාලිනයන්ගේ නම් ගම් ආදිය මතක තබා ගැනීම ද මුල් සති කිහිපය තුළ සිදුකරයි.
නවක වදය යනුවෙන් ක්‍රියාත්මක වන ක්‍රියාවලිය විශ්වවිද්‍යාල උප සංස්කෘතියේ අංගයකි. උප සංස්කෘතියක් යනු පොදු සංස්කෘතිය පිළිගන්නා අතරම එයින් පැහැදිළිව වෙනස් වූ සිරිත් විරිත් හා සම්ප්‍රධායන්ගෙන් යුක්ත වූ ජන කණ්ඩායමක හැසිරීමටයි. උප සංස්කෘතින් යටතේ උප භාෂා ද අැතිවෙයි. බකට් කිරීම, ගජේ ගැසීම, ගැට්ට, ජෙප්පො, කොක්ක, ක්‍රෑම, කුප්පි දැමීම වැනි වචන විශ්වවිද්‍යාල උප සංස්කෘතිය තුළ වෙයි.
පොදු සංස්කෘතික සමාජයේ පවත්නා ගතානුගතික ගතිලක්ෂණ සහිත සමාජයක හැදුනු වැඩුනු බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශ්වවිද්‍යාල උප සංස්කෘතිය තුළ සමඟියෙන්, සහයෝගයෙන් හා සමානාත්මතාවයෙන් කටයුතු කිරීමට පෙළඹෙයි. මේ සඳහා විශාල කාර්යයක් 'නවක වදය' යනුවෙන් හඳුන්වන කාල පරිච්ඡේදය තුළ සිදු කෙරෙයි. බොහෝ විශ්වවිද්‍යාලහි 'වැඩ පහ' යනුවෙන් හඳුන්වන සාමූහික ක්‍රියාකාරකම් සිදුකෙරෙන්නේ ද මේ යටතේය. ශ්‍රමදානයක්, පැදුරු සාජ්ජයක්, ප්‍රදර්ශනයක්, අවුරුදු උත්සවයක් හෝ දානමය පිංකමක් සංවිධානය කිරීමක් වැනි දෑ මෙයට අයත් වෙයි.
එමඟින් ශිෂ්‍යයින් පොත පතින් ලබන න්‍යායාත්මක දැනුමට වඩා වැඩි සමාජ දැනුමක් ලබා ගනියි. එම නිසා මෙය කිසිසේත්ම සාමාන්‍ය සමාජය අර්ථ ගන්වන අයුරින් හිංසනයක්, පලිගැනීමක් හෝ පරක පීඩක කාමුකත්වය ක්‍රියාත්මකවීමක් නොවේ.
නවක වදය ක්‍රියාත්මක වන කාලපරිච්ඡේදය තුළ ඇඳ පැළඳිය යුතු ආකාරය පිළිබද ජ්‍යේෂ්ඨයින් විසින් නීති පැනවීම , 19 වන සියවසේ බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල වරම් ලැබූ රාජකීයයන් මුල්වරට විශ්වවිද්‍යාලයට ඇතුළු වීමේදී වැරහැලි ඇන්දවීමේ සිදුවීම සිහිපත් කරයි.
මෙහිදී ඇඳිය යුතු ඇඳුම් යම් අවලක්ෂණ ස්වරෑපයක් ගනියි. ඉතා චාම්ය. උදා : ගැහැණු ළමුන් දිග සාය, හිස තෙල් ගා පීරා ගොතා තිබීම, පිරිමි ළමුන්ට දිග කලිසම් හා අත් දිග කමීස
මෝඩ දෑ සිදුකරවීම ද නවක වදයෙහි කොටසකි. එනම් හාස්‍ය ජනක කතා පැවැත්වීම්, විරුද්ධ ලිංගිකයෙකුට විවාහ යෝජනා කිරීම්, වචන කපා ගැනීම, ගසකට හාදු දීම, පිරිසිදු සිංහල භාෂාවෙන් කතා කිරීම් වැනි දේ ය . මෙවැනි ක්‍රියාකාරකම් වදයක් ලෙස නොව විනෝදයක් ලෙස හැඟෙන අතර සදා සොඳුරු මතකයන් අතරට ද එක්වෙයි. සරසවි ප්‍රවේශය ලැබීමේ තරඟ විභාගයට සාර්ථකව මුහුණ දීමට දරුවන් පෙළඹවීම සඳහා යොදා ගන්නා එක්තරා උපක්‍රමයක් ලෙස නවකවදය කාල පරිච්ඡේදයේ සිදුවන රසවත් සිදුවීම් විස්තර කිරීම යොදා ගැනුණි.

'නවක වදය' යන්න සමජය අර්ථකථනය කරන 'වදය' යන අර්ථයෙන් ගත්තද එය පවතින්නේ සරසවියේ පමණක් නොවේ. බොහෝ ආයතනවල සහ ව්‍යාපාරික ස්ථානවල ද අඩුවැඩි වශයෙන් ක්‍රියාත්මක වෙයි. මිනිසාට උපතේ සිට මුහුණු පෑමට සිදුවන සමාජීය වද බන්ධන සේම, දෙමව්පිය බලාපොරෝත්තු ඉටුකර දීමට සිදුවීම වැනි දහසකුත් පීඩනයන් හමුවේ මාස කිහිපයකට පමණක් සීමා වූ එකම තාවකාලික වදය ඔවුනට සොඳුරු ලෙස දැනෙයි. නැතිනම් එය ගාණනාක්වත් නැත.එය දඬුවම් ක්‍රමයක් ද නොවේ.
විශ්වවිද්‍යාලයට පැමිණෙන නවකයින් එහි පරිසරයට හැඩගැස්වීම සේම, සමාජයේ විවිධ මතවාදයන් දරණ පුද්ගලයින් සමඟ එක්ව කටයුතු කිරීමට පුහුණුකිරීමේ නම්නීකරණ වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක විය යුතු අතර උග්‍ර නවකවදය නතර විය යුතුයි. එය නිසි ලෙස සමාජානුයෝජනය නොවූ රැග් නොවූ පිරිසකගේ අන්තවාදී පෙළඹවීමකි.

නවකවදය විඳි බොහෝ අයට එය මතකයේ සදා පවතින මල් සමයක්මය. නවකවදය එපා යැයි සමාජයේ කෑ මොර දෙන පිරිසෙන් බොහෝ දෙනෙක් රාජ්‍ය විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොලැබූ නවක වදය අත් නොවිඳි පිරිසයි.එසේ නම් එය නරියා මිදි තිත්තයි කියූ කතාවට සම නොවන්නේද?..

No comments:

Post a Comment