Friday, February 16, 2018

සෙරෙප්පුව නැති කකුලෙ හැමදෑම කටුවක්ය

දා දියට කඳුළු කැට මුහු කරාවද හොරෙන්
අප නොදැක වැඩ පලේ පසුවුණාවද දුකෙන්
හිස් පෙට්ටි කඩා හැදු පැදුරු මත සැතපෙමින්
අපායක හිඳ අපව තැබුවෙ නුඹ සුරලොවින්

කිසිදාක ටයිගැටේ නොදෑ මා අප්පච්චි
විට කටින් හැමෝටම හිනා වුණ අප්පච්චි
ළඟින් යන විට නාස් ඇකිලුවත් උද්දච්චි
කුණුපිරුණු කරත්තේ එලෙව්වේ අප්පච්චි



ලෑලි ගේ ඉරි දිගේ හඳ එළිය හිඩැස්සෙන්
කළුව බිඳ අපූරුම රටා මැව් පියැස්සෙන්
කදෝපැණි තාරකා එළි ගණින දිවැස්සෙන් 
අප්පච්චි නැති දොහේ රස කතා නොවැස්සෙන්

ටිකක් වැඩි වුණ දාත් මිමිණුවේ කවියක්ය
දුවේ මෙහෙ වරෙන් මං ගෙනාවේ බඩුවක්ය
සතෙක් වාගෙම හැදුණු මොකක්දෝ කොළයක්ය
සෙරෙප්පුව නැති කකුලෙ හැමදෑම කටුවක්ය

වාසිටියෙ ගිය දිනේ ඔබෙ නෙතේ හිනාවයි
සිව්වසක් දා හෙලා උගැන්නුවෙ කලාවයි
විවේකෙන් සුවෙන් ඔබ දකින දා පමාවයි
එ් දවසෙ මතුවන්නෙ මගේ මහ හිනාවයි

No comments:

Post a Comment