"පුවතක් - තරුණියකගේ අඩ නිරුවත් පින්තූර ඇගේ පෙම්වතා විසින් අන්තර්ජාලයට මුදාහරියි."
පින්සර සිතින් සෙනෙහෙන් මා වී කෝල
මතකද එදා අප දෙහදේ බැඳි ආල
දැහැමෙන් සෙමෙන් ඔබ මට ලං වූ තාල
මල් පිපුනාට පර වෙන බව දැන වුන්නත්
සිල් පිරුවාට බිඳෙනා බව නුඹ කිව්වත්
කල් බැලුවාට අප එක් වෙන විදි හෙව්වත්
තොල් සැලුනාට ඔබ මුව ගොළු වී වුන්නත්
එක්වෙමු එකට අත්සන් මොනවටද පොතේ
දැනටත් අපිට කල් පහුවී ඇතැයි හිතේ
පවසා එලෙස තුරුලේ සැඟවුණා වතේ
නුඹ නැවතුනේ මගෙ හිත් ගැබ උඩම කොතේ
නැති දා රූ බලා සැනසිය යුතු හින්දා
අවසර දුන්නෙ එනු තුන් වෙනි ඇස කැන්දා
බොළඳයි ආදරේ හැම සීමා බින්දා
නුඹ පින්සලයි සුදු කොළයේ ඉරි ඇන්දා
ආලෙන් වෙළුණු මොහොතක ගෙනඑන සල රූ
හිඳුවන් බිත්ති හතරක ගනිමින් නෙක රූ
ගැහෙමින් කුසුම් පෙති විකසිත වන අයුරූ
වසමින් කවුළු දැමුවා ඔබ දොර අගුලූ
හිටපන් මෙහෙම මේ ලෙස මහ නීති ගොඩක්
වෙනසක් දුටුවෙ නුඹගෙනි තව නොවේ පසක්
නිදහස් සිතින් ආලය තහනම් ද හුදක්
එය පමණකිය කීවේ ඔබ වුණිය වහක්
නුඹ ළඟ පමණි හිමිසඳුනේ මා පිපුණේ
එය මුළු ලෝකෙටම දා පෙන්වා තිබුණේ
බුදුනට වඩා මා ඔබ අදහා තිබුණේ
පොළොවේ පසුයි මට තව ඉතුරුව තිබුණේ
සෙනෙහේ මෙයද නොපැතූ අනෙකගෙ සතුටක්
ලෝකය ගල් ගසා පාරපු හද සිදුරක්
කියනා තරම් නෑ සෙනෙහේ හෙණ සොඳුරක්
නුඹ සිහිවෙනා කළ ප්‍රේමය ගිනි අඳුනක්
No comments:
Post a Comment