Friday, July 21, 2017

හැමදාම ඇඳන් යට හැංගුනා රෑ වෙද්දි
අම්මාට සහලෝල මී උණක් බෝ වෙද්දි
පිංගාන් ආකාසෙ එහේ මෙහෙ පාවෙද්දි
ගින්දරින් පච්ච ගැට ලාම්පුව පෙරලෙද්දි

“කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ලඳුනේ..”

සංගීත ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකේය සළකුණ වන කේමදාසයන්ගේ අද්විතීය සංගීත සංයෝජනයෙන් ද,  තම හඬ පෞරෂයෙන් අමරණීය වූ අසහාය ගායක අමරසිරි පීරිස් මහතාගේ ගායන්යෙන් ද සෞන්දර්යවේදී ප්‍රවීණ ගීත රචක රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ගේ පද සංකලනයෙන්ද රසෝජිත සමාජ යථාර්ථයේ පත්ල සංස්පර්ශ කළ ගීතයකි.. ලඳුනේ…
ලඳුනේ ලඳුනේ
ඔබේ දෑස දැක ගත්තෙමි
සැදෑ කලෙක ලඳුනේ…ලඳුනේ
දෙනෝදහක් අතගත්තද
සැමියෙකු නැති ලඳුනේ
නෑයෙක් නැකම නොකියන
වීදි සරන ලඳුනේ…ලඳුනේ
තෙල් මල් ගෙන දෝත පුරා
මුණි කුටියට පියමංවන
 ඔබේ දෑස දැක ගත්තෙමි
සැදෑ කලෙක ලඳුනේ…ලඳුනේ
බුදුන් දැක නිවන් දකිමැයි
දෙව්රම යන පාර අහන
ඔබද පටාචාරාවකි
ඔබද කිසාගෝතමියකි
පිරිමින්ගේ පාප කදට
දෝස විදින ලඳුනේ
අදුරේ පව් කරන දනා
එළිය ලබන ලඳුනේ
ලැම පමනක් ලොවට පෙනෙන
ලය නොපෙනෙන ලඳුනේ
සුදුසුම වදන් සුදුම තැනට යොදා සිදු කළ මෙම නිමැවුම රසික සහෘදයා කැඳවා යන්නේ තිත්ත වූ ඇත්තක් අභියස ඔවුන් නිරුත්තර කිරීමටයි. සමාජ සම්මතය අනුව කෙළ පිඬක් සේ ඉවතලන්නෙකි ඇය. පිරිමින් රහසින් ඇය පතා එයි. නමුත් සමාජය ඉදිරියේ ඇයට නිග්‍රහ කරයි. ඇයගේ සැබෑ කතාවයි මෙම ගීතයෙන් ප්‍රතිනිර්මාණය කෙරෙනුයේ.
“දෙනොදහක් අත ගත්තද සැමියෙකු නැති ලඳුනේ..”
ඇගේ කායික ස්පර්ශය සොයා එන පිරිමි දෙනොදහක් වෙති. නමුත් ඇයට සැමියෙකු නොමැත. පිරිමින් ඈ ලවා තම සන්තෘප්තිය ලබා ඈ හැර යයි. තවත් කෙනෙක් පැමිණෙයි. ඔහු ද ඇය හැර යයි. ඔවුන් ඇය  ළඟ රැඳෙන්නේ තම සංස්තෘප්තියේ කූටප්‍රාප්තිය තෙක් පමණි. නමුදු ඇයට අවශ්‍ය සෙනෙහස, ආරක්ෂාව සපයන්නට කෙනෙකු නොමැත. ඒ වෙනුවට ඇයට සමාජය ඉදිරියේ ගල් ගසයි.
ගීතයේ කතා නායකයාට ඇය හමුවන්නේ සුවිශේෂී අවස්ථාවකයි. අපට සුවිශේෂී වුවද එය ඇයට සාමාන්‍ය ජීවිතයේ සිද්දියක් පමණකි. සැඳෑ කළ ඇය පියමං වනුයේ බුදුන් පිදීමටයි. තෙල්, මල් දෝතින් රැගෙන සැදැහැයෙන් මුනිඳු පුදට යන ඇය බුදුන් කළ විසූ කිසා ගෝතමියම, පඪාචාරාවම සිහිපත් කරවයි. එය ඉතාම ප්‍රබල ප්‍රකම්පනයක් රසික හදට දනවයි. ඈ වැනි කතුන්ට පරිභව කරන පාර්ශවයට අතුල් පහරක් ගසයි. ඇය සොයන්නේ අපායක් නොව. මන්ද ඇගේ සිතේ පවිටු සිතුවිලි නොමැත. ඇය සොයන්නෙ දෙව්ලොවක් ද නොව. මන්ද ඇය සැප සම්පත් සෙවීමට නොයයි. නමුත් ඇය දෙව්රම සොයයි. ඒ අධ්‍යත්මික විමුක්තිය උදෙසාය. එසේ නම් අප සමාජය විසින් පරිභව කොට ඉවතලන ඇය අපට වඩා ඉදිරියෙන් සිටින ගැහැණියකි. පුළුල් සමාජ අවබෝධයක් සහිත ගැහැණියකි. ඇගේ ජීවිතයට පරිභව කිරීමට පව්කරන දනට ඇති අයිතිය කුමක්ද? මෙය ප්‍රබල සමාජ විවේචනයක් වුවද ඉතාම සංයමයෙන් ගැලපූ පද . හඬ හා සංගීත මුසුව මෙම ගීතයේ අර්ථය තීව්‍ර කරයි.
ඥාතීන්ට ද ඇය ලැජ්ජාවකි. ඔවුන් ඇය තම පරම්පරාවෙන්ම බැහැර කරයි.
බමරුන්, දෙබරුන් මල කරා යයි. පසුව සමාජයේ දෝෂ දර්ෂණයට ලක්වන්නේ එවැනි මල් මිස මල් වෙත ආ පිරිස නොවෙයි. පිරිමින්ගේ පාප කඳට දෝස විඳින ලඳුනේ .. යන්න ඉතාමත් ප්‍රබල යෙදුමකි. සමාජයේ දෝෂ දර්ශනයට පාත්‍ර වනුයේ වැරදි සිදුකරන පිරිස නොව තවත් පිරිසකි. එය කෙතරම් අසාධාරණ ද යන්න මෙම ගීතයෙන් විමසෙයි.
මිනිසුන් සැඟවී වැරදි කරයි. සන්තෘප්තිය නැමැති ආලෝකය ඇය කරා ගොස් ලැබ ගනියි. නමුත් ඇයට පරිභව කරයි. එවැනි කාන්තාවන්ගේ දුක සන්තාපය, හැඟීම්, මානසික අවශ්‍යතා, උණුවෙන ළය, සංවේදීභාවය පිටතට නොපෙනෙයි. ඇය හා සහෘද වී ඇගේ සන්තාපය, ඇගේ කතාව ඇසීමට කිසිවෙකුට උනන්දුවක් ද නැත. නමුත් ඇගේ බාහිර ශරීරය දැකබලා ගැනීමට ඔවුන් ඇගේ සළු උනා දමයි. “ලැම පමණක් නොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ..“ යන්නෙනි මෙම සංකීර්ණ අදහස කියාපාන්නේ.
කුහුඹුවෙකුට වරදක් නැති වැරදිකාර ළඳුන් කොතෙකුත් අප රටේ වෙසෙයි. සමාජය විසින් සියලු වැරදි ඇය වෙත පටවා ඇත.මෙම ගීතය ලංකාව වැනි ආසියාතික රටවල ගණිකාව යනුවෙන් පරිබව කරන කාන්තාව පිළිබඳ මානව හිතවාදී , සහානුකම්පිත දෘෂ්ටියකින් ලියැවුණු එදා සේම අදටත් සමාජයට පණිවිඩ රැසක් ලබා දෙන ගීතයකි .

තරුෂි නවංජනා ලියනාච්චි


ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ..?





රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
අරුණළු කැරලි වැටෙනා සඳ අළුයමට
නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට


තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ
නින් එළියටයි පෙති ගෝමර දැවෙන්නේ
මල් විය නොවෙද මේ දියකර හරින්නේ
මැසිමද හිතද මහ හයියෙන් හඬන්නේ

නුඹෙ කඳුලැලිද සයුරේ රළ නඟන්නේ
හද සුසුමන්ද පවනක් වී හමන්නේ
තනි නොතනියට හෙවනැල්ලද සිටින්නේ
ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ..”


පද රචනය: බන්දුල නානායක්කාරවසම්
සංගීතය: රෝහණ වීරසිංහ
ගායනය: සුනිල් එදිරිසිංහ






ජීවිතය යනු රැකියාවක් නොවන අතර රැකියාවක් යනු මුදල් ද නොවේ. ඒත් බොහෝ දෙනෙක් ජීවිතය තම රැකියාව කරගෙන රැකියාව මුදල් කරගෙන ජීවිත කාලය පුරා මියැදෙමින් සිටිති. ඒ අතරිනුත් බොහෝ දෙනෙක් යට කී දෑ සිදුකරන්නේ කැමැත්තකින් නොවේ. නමුත් ඔවුනට එසේ කරන්නට සිදු වී ඇත. අහිංසක ජනතාවගේ ශ්‍රමය සූරා කමින් මඩිය තර කරගන්නා පෞද්ගලික ක්ෂේත්‍රයේ රැකියාවන් අතර ප්‍රමුඛ ස්ථානය රඳවා ගනිමින් තිබෙන ඇඟලුම් කම්හල් එදා සේම අදත් පවතියි.
විඩාව නිවනට රාත්‍රිය එළඹෙයි. එය නිසංසලය.එය සෞම්‍යයය. සඳ කිරණ හැලෙන තරු පිරි අහස සැනසීම උත්කෘෂ්ටියට නංවයි. නිවසේ දරු මා පියන් එකට එක්වෙයි. දරුවන්ගේ සිනා කිකිණි රැව්දෙයි. රාත්‍රිය යනු මිහිපිට සුරලොවකි. අන්ධකාරය නුවන් පියවා සිත ගත වෙහෙස නිවාලයි. රැහැයි හඬ නැළවිලි ගී ගයයි.

එවන් රාත්‍රියක මුදු මොළකැටි ළඳුන් යකඩ අඬු දඬු අතර සිරවෙයි. ඒ ඔවුන්ගේ රෑ වැඩ මුරයයි. නොනිදන රාත්‍රිය පුරා දහදිය කඳුළු වගුරුවා ලබා ගන්නා සොච්චම තනි දිවියක් රක්ෂණයට සීමා නොවෙයි.
රාත්‍රිය නිමා කිරීමට හිරු කන්ද කපා එබෙන අළුයමයි.  කුරුල්ලන්ගේ කිචිබිචිය පියවුණු දෙනෙත් ඇහැරවයි. දසත මල් පිබිදෙන හිමිදිරියේ ඇගේ වත කුසුම මැළවෙයි. ඇගේ විඩාව නිවාගන්නට එක් නිමේශයක් එළඹී ඇත. “නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට” සොබාදහම විඩා නිවාගැනීමට දුන් කාලය හමාර වී ඇත. නමුත් ඇයට ඒ කාලය උරුම නොවීය. එය සැබෑවටම ශෝකාන්තයකි. ගීතයේ සෘජුවම එය ,“පෙර කළ පවට, යනුවෙන් හඳුන්වා ඇත්තේ බොහෝ තරුණියන් තමන්ගේ ශෝකාන්තය තේරුම් ගැනීමට පවා නොහැකි යන්ත්‍රයන් බවට පත්ව ඇති නිසා විය හැකිය.
තරුණියන්ගේ මොළකැටි සුකොමල බව අතීතයේ වර්ණනා වූ සෑම තැනකම පෙති ගෝමර ගැන කියැවෙයි. එය ඔවුන්ගේ සුන්දරත්වයේ සළකුණකි. නමුත් අපගේ මාතෘකාවට බඳුන්වන තරුණියන්ගේ පෙති ගෝමර දැවී යන බව ගීතයේ සඳහන් වෙයි. ඒ කම්හලේ නොනිවා දැල්වෙන නියොන් ආලෝක පහනින්ය. එම ආලෝකය පෙති ගෝමර දවාලීමෙන් නතර නොවෙයි. දෑසට සහ සමට මෙන්ම මනසටද හිතකර නොවන ආලෝකයකි එය. ඔවුන්ගේ දෑඟිලි තුන් තිස් පැයේ නිදිවරන බව පැවසයි. මෙය කෙතරම් අපූරු පද සංකලනයක්ද? තුන් තිස් පැයේ ඔවුන් නිදි වරයි. ඔවුන්ගේ දෑස් නිදිවරයි. එහෙත් දෑඟිලි ? ඒ සුකොමල රතැඟිලි කිසි විටෙක නිවාඩුවක් සැනසිල්ලක් නොලබයි. එයයි ලංකාවේ ඇඟලුම් රැකියාවේ ස්වභාවය.

ජීවිතයේ හොඳම අවධිය වන තාරුණ්‍යය මැෂිමට දියකර හැරීමට ඔවුන්ට සිදු වී ඇත. දරුවන් හා මව්පියන් සමඟ සතුටු සාමීචියේ යෙදීමට, සුන්දර ස්ථානයක් නැරඹීමට යෑමට, චිත්‍රපටයක් හෝ ටෙලිනාට්‍යක් නැරඹීමට, විලාසිතා කිරීමට, සංගීත ප්‍රසංගයක් නැරඹීමට, උද්‍යාන අලංකරණ කටයුතු,යහළුවන් සමඟ විනෝදවීම්, ආගමික කටයුතු, විනෝදයෙන් විවේකයෙන් කාලය ගත කිරීම්, නව දැනුම සෙවීම් හා අත්දැකීම් ලබාගැනීම් ආදියෙන් යුත් සමනල යොවුන් වියේ විඳින සිහින මොවුන්ට බොහෝ ඈතිනි පවතින්නේ. ඔවන්ට එවන් දේ තහනම් වචන වී හමාරය. එතකුදු නොවී මෙවැනි අහිංසක තරුණියන්ගේ හැඟීම් යොදා ගනිමින් බොළඳ පොත පත ආදිය විකුණා ගැනීමට තැත් කරන වෙළෙන්දන් ද සිටීම අභාග්‍යයකි.

ගීත රචකයා ඔවුන්ගේ ශෝකාන්තය හොඳින් අවබොධ කරගෙන සිටියි. මන්ද ඇගේ කඳුලැලි සාගර දියට සම කිරීම තුළ ඔවුන්ගේ දුක කෙතරම්දැයි වැටහෙයි. ඇගේ සුසුමන් පවනක් තරම්ය. ඇගේ පිහිටට කියා කිසිවෙක් නොමැත. කම්හල ඇගේ ශ්‍රමය සූරා ගනියි. ඇගේ සිහින, බලාපොරොත්තු ගැන සිතීමට පවා කිසිවෙකු නොසිටියි. “තනි නොතනියට සෙවණැල්ලද සිටින්නෙ..” යනුවෙන් චිත්තරූප මවන පද සංයෝජනයකින් ගීතය පැබැඳී ඇත. මෙහි අවසාන පදය සියල්ල කැටි කොට කියන හද කම්පා කරවන කතාවයි. ගී පද රචකයාගේ උත්කෘෂ්ට පද සංයෝජනයේ කූටප්‍රාප්තිය අවසන් පද පෙළයි.


“ ඇඳුම ද නුඹේ ජීවිතයද මහන්නේ..”

ඔවුන් මහන්නේ තමන්ගේ ජීවිතයයි. කැටයම්, පාට, බතික්, මෝස්තර නොමැති ජීවිතයයි. ඝෝෂාත්මක මැෂින් ශබ්දය තරුණියන්ගේ හද අභ්‍යන්තයේ සැඟවෙන විලාපයට සමකිරීම තුළ සහෘදයාගේ හද ද ඈ නමින් හැඬවෙයි. මහ හයියෙන් හඬන්නේ ඇගේ හිතයි. නමුත් සියල්ලන්ටම ඇසෙන්නෙ මැෂිමේ හඬ පමණකි.

සුනිල් එදිරිසිංහයන්ගේ භාවපූර්ණ හඬ පෞර්ෂයෙන්ද, බන්දුල නානායක්කාරවසම්ගේ අපූර්ව පබැඳුමෙන්ද , රෝහණ වීරසිංහයන්ගේ සංගීත සංයෝජනයෙන්ද නිර්මාණකරනය වූ මෙම ගීතය ඇඟලුම් කම්හල් මතු නොව ශ්‍රම සූරා කෑම් සිදුවන බොහෝ කර්මාන්තයන්ගේ යකඩ සපත්තුවට පෑගෙන සුවහසක් තරුණ තරුණියන්ගේ ඉරණම සානුකම්පිත දෘෂ්ටිකෝණයෙන් ලොවට හඬ ගා කියන රැඩිකල් ගීයක් ලෙසයි මා හඳුන්වන්නේ..

ගීතය මෙතනින්

https://www.youtube.com/watch?v=UOjOfVpwr7k

සටහන – තරුෂි නවංජනා ලියනාච්චි