හැමදාම ඇඳන් යට හැංගුනා රෑ වෙද්දි
අම්මාට සහලෝල මී උණක් බෝ වෙද්දි
පිංගාන් ආකාසෙ එහේ මෙහෙ පාවෙද්දි
ඉස්කෝලෙ රචනාවෙ තේමාව අප්පච්චි
මකුළු දැල් ගලවමින් එතනිදන් ලියවෙච්චි
කෝ යකෝ මේ ගෙදර මහ එකී ඇමිනිච්චි
ඉරී ගිය පොත් පිංච ජනේලෙන් විසි වෙච්චි
“ගාගෙනද තොල කටේ කල්ලාගෙ වහ වතුර”
“හොඳ හිතින් වහ ගනින් ගෑණියේ කට කතුර”
නංගිගේ ඉකි ඉකිය හපාගෙන ලී පතුර
අරන් වර බීඩියට ගිනි ටිකක් කෝ චතුර
නෙතට හුරු කඳුළු කැට උරාගත් මැටි පොළොව
සාක්කිය හඳ එළිය ගේ පුරා හිල් කෙරුව
අම්මාට උස්සද්දි දර පලන මහ පොරව
බැරි වුණා අප්පච්චි මට ඉන්න කීකරුව
යෝද හයියක් ඇවිත් මේ කෝටු අත් දෙකට
අප්පච්චි විසි වුණා පැත්තකට තල්ලුවට
අම්මාගේ පණ කෙන්ද බේරුනත් හුස්මකට
මගේ අහසම කළුයි සිද්දවුණ පාපයට
අදත් නුඹෙ සොහොන ළඟ පාත් වී දහස් වර
සුළං පමණකි දන්නෙ මා හෙලූ සුසුම් සර
හාරමින් අතීතය පිහි තුඩින් ඇඬුම් බර
නොලිව් කව් ලියවුනා පිරෙන්නම පොතක් තර
“ගාගෙනද තොල කටේ කල්ලාගෙ වහ වතුර”
නෙතට හුරු කඳුළු කැට උරාගත් මැටි පොළොව
යෝද හයියක් ඇවිත් මේ කෝටු අත් දෙකට
අදත් නුඹෙ සොහොන ළඟ පාත් වී දහස් වර
No comments:
Post a Comment