Friday, October 21, 2016

-------දෙහදක අහිමි හිමිකම්--------
නොහැඟුන තරම් ඔබ මා සතු නොවේ කියා
දුටු වන මගේ හදවත හිරී වැටී ගියා
වැරදියි හරියි රේඛාවෙන් බෙදා සොයා
වෙන් කළ කාලෙ ඇත මා දෙස නුවන් අයා
.................................
නොසිතූ තරම් දෙනෙතඟ නලියන තාල
දුටුවා හොරෙන් ලය මා තෙරපා ආල
 නොහැඟුන අරුම බඳිනට හිමි නැත මාල 
රසයෙන් දැවෙමි කීමට කිම වී කෝල...
...................................
ඔබ අන් මලක රූ විඳිනා බඹරාණෝ
ඒ මල හිතයි ඔබ ඈගේ කුමරාණෝ
රහසේ බැන්ද පෙම් සටනේ විරුවාණෝ
ඔබමද දිනක මේ සෙනෙහේ මරුවාණෝ
.....................................

දෙමලක් තලා රොන් ඉරුවත් හරි රසට
හුරු මල තැලෙන්නේ ඉද හිට නොම සැපට
 රහසේ තටු සලා තෙරපී නුඹ ලයට
විදිනා සුවය පැරදිය හැකි මොන මරුට..
........................................
කඳුලක බරක් නෙත උසුලන වෙලාවක
ඔබ ඉන්නවද මා සිත වට වලාවක
අද තනි වෙලා හිඳිමින් ගන කැලෑවක
ඈතින් බලමි ඔබ හිරු මං තලාවක
......................................
ගත දැවටෙනා උණුහුම් සුව හා සමව
සිත් පිබිදුණා හිමි නැති නුඹගේ හමුව
දිවි මං තලාවේ යනෙනා භව තනිව
ඉන්නෙමි නෙතට දී තුටු කඳුලැල් බරව....

16/10/21*

Tuesday, October 18, 2016

....නෙතේ නැති රූ හදේ ඇඳිලා....

ඈත දුර සිට ඔබේ හඬටයි මගේ දෙසවන් පෙති හැරෙන්නේ
මෑත මානේ ඉන්න මාගේ සිනාවකි මුවගට නැගෙන්නේ
රෑට හීනෙන් පේන හැමදා සිතේ පේවුන රුවක් වන්නේ

නෑර මොහොතක් සුවඳ දැනුනේ දෙව් ලොවේ සිටදෝ වඩින්නේ
………………………
සුර ලොවක සුව දෙනෙත මානේ දෙදෙන කවදාදෝ දකින්නේවදන් අන් දොඬනා රුවැති නම් කෙලෙසකද සොඳුරිය රකින්නේ
දෙඅත් බැඳ මං පිය මනින්නට කන වැලට සවියක් ගෙනෙන්නේවිඳින සුව සුවඳකම දැවටී කිමද මේ හදවත පෙලන්නේ...

…………………….
දැනෙන දහසක් පහස අතරේ මා දෑත ඔබෙ සුරත සෙව්වා
විඳින විඳවන ජීවිතේ මං විවර කළ දොරටුවක් මැව්වා
බිඳෙන ආලය නෙත් තෙමාලන තාලෙ සින්දුවකිනුත් ඇහුවා
මිදෙන විදිහක් හිතගනු බැරි පියල්ලක් මා හිතේ වැව්වා..
……………………….
විදින පහසක සුවය අතරේ දහස් වර මා නුඹව සෙව්වා
දැවටෙනා ගත දැවෙන රස මුත් නොදැක ගත සළු පටය ලිහුවා
දෑතෙ වෙලෙනා තාලයට හද හීන් සිතුවිලි රාග මැවුවා
මැවූ විහඟුන් අයා දෙනෙතම ගීතයක අප ආල ලිව්වා....
…………………….
සේලෙ ඇන්දා පාට කිව්වා ලස්සන ද මං ඒත් දන්නෑ
මාලෙ බැන්දා පබලු කිව්වා සයුර තරහද ඒත් දන්නෑ
කාලෙ ගෙව්වා ඉරයි කිව්වා සඳයි කිව්වා ඒත් දන්නෑ
බාලෙ ඉඳලා කලුයි කිව්වා ඊටෙහා මං පාට දන්නෑ
………………………
යසට දිලෙනා රුවැති උරුමා දකින අන් නෙතු පමණි දන්නා
වරුණ ඇසුනා නිතඹ සැලෙනා මසිත කෙලෙසක වාව ගන්නා
යනෙන ගමනා රැගෙන යන්නා තනිව කිම සුර දූ රදන්නා
කරපු කරුමා දෙහද රැදුනා කෙසේ දිවි හැර කොහේ යන්නා...

෴...16/ 10/18.....෴..

Sunday, October 16, 2016

නාඩ ඉන්න ඕන වෙලාවක්ය මේක...


හායි කිව්ව තමයි හැමදාම එනකොට ගෙදර හවසට
ටීවි එකේ ඇරුනම දැක්කෙ ඔයාව දොර අරින වෙලාවට
අක්කෙක් එක්ක ආවම මෙහාට සතුටු හිතුනා ගොඩාරියක් මට
අම්ම නම් කිව්වෙ ජීවිතේ තේරෙන්නෙ ළමයි ඉන්න කොට

අක්ක එක්ක රණ්ඩු කළා තමයි නිතර ඒත් විහිලුවට
කැමැත්තක් තිබුණත් පෙන්නන්න ඕනුන් නැහැ මට
එයාගෙ පැත්ත අරන් තාත්තා මට දත් විලිස්සු විට
සත්තයි හිතුනා මට මැරෙන්න පැනල කෝච්චියට
පන්සල් ගියොත් නිතර නතර වෙයිද එහේ වශී වෙලා ගිහින්
බය වෙලාද කොහෙද මාව දාල මෙහේ අක්ක එක්ක ගිහින්
ඉර හතක් ඇතත් කලුම පාටලු සමහරුන්ට ලෝකෙ
ගන්න ලේන්සුවක් නාඩ ඉන්න ඕන වෙලාවක්ය මේක

16/10/10 *Tharu*

Saturday, October 15, 2016

අතරමංවුන ජීවිතේ..

අතරමංවුන ජීවිතේ..හුස්ම සොයමින් මාවතේ..
ප්‍රාණයක් සෙව්වා..
සිහින අළු ගෙන පා කළා..
සිහිනයක් නැති නිමේශය සෙව්වා..

ඔබ ඉතිරි කළ හිස් තැනක් මං පුරවන්නහැදුවා..
ඔබ තියා ගෙන අගේ කළ ඒ සෙනෙහසත් පැතුවා..
මල් උයන් වෙත සුවඳ පාරේ ඉවට වහ වැටුනා..
වෙනින් අයගෙන් ඔබම හොයපූ කාලයක් තිබුනා..

දිව ඔසුව නැති පිපාසාවට බොර දියත් පෙව්නා..
ඔබ නිසා හිරිවැටුණු හදවත පණ ගසනු දැනුනා..
අතීතය කන් බිහිරි කරමින් කෑගසනු ඇසුනා..
කියන් සොඳුරිය ඉතින් වැරදිද ජීවිතේ හෙව්වා..




හිඳුන මොහොතක

-------------------------
මහා සයුරක්
හිඳුන මොහොතක
නියඟක් වත් නැතුව
සුනාමියක් වත්ද

බයම වචනත්කියවුනා මට
ගිලිලා වුනත් මියදෙන්න
ආස බවත් දැන
හිඳුන නිසා හෙව්වා
වෙනත් වතුර මම
අලුත් රහට තව
ඇළ දොළ වැව් ගානෙ
වෙහෙස නොබලාම
නොබී දියත්තක් පීනුවෙ මම..
*Tharu*

Friday, October 14, 2016



ලෝකයක් දකින්නට මේ දෙනෙත් පාදලා
පාලමක් තනා මා දෙව්ලොවට යා කලා
මායිමක් නැති තරම් සෙනේ ණයගැති වෙලා
මාලයක් සේ ගෙලේ ඉන්නදෝ ලංවෙලා

16/10/14 *Tharu*

Thursday, October 13, 2016


සාවිට හොරා කළු අහසම එළි වූවා


සාවිය සිතයි සඳ තුළ සිර ගෙයක් කියා
රෑ කළුවරේ සිසිලස තව හොඳයි කියා
පිම්මක් මදියි ලෝකය හරි විසල් කියා
කැලයක් මැදින් තව අහසක් ඇතැයි කියා
තරු මල් උඩින් පා තබමින් සිත් නාවා
දූවිලි පිරුණු මතකය පා කර ලූවා
වලා රොදක හැඟුමට හද දී පාවා
සාවිට හොරා කළු අහසම එළි වූවා
සඳින් පිටව මොහොතක අහසේ සරනා
සාවුන් සදිසි දරුවන් මිහිමත දකිනා
සැනකින් මාව සඳ මත සොයනා බැවිනා
උන් ගැන සිතා එදෙසට පියවර නැගුනා