Monday, October 23, 2017

“මටත් පුළුවනි ජම්බො වගේ කෑ ගහ ගහ රෙද්ද උස්සගෙන යන්න..”- සෙයිලම - තරුෂි නවංජනා ලියනාච්චි

1996 සරසවි චිත්ර පට උළෙලේදි හොඳම චිත්රපටයට හිමි සම්මානය ඇතුළුව සම්මාන 10ක් ලබා ගත් ‘සෙයිලම’ සිනමා පටය එච්. ඩී. ප්රේ මරත්නයන් අධ්ය ක්ෂණය කළ රවීන්ද්ර  රන්දෙණිය, සිරිල් වික්ර මගේ, අනෝජා වීරසිංහ, දයා තෙන්නකෝන්,ඩබ්. ජයසිරි, ඩිලානි අබේවර්ධන, මැණිකේ අත්තනායක යන ප්රපවීණ රංගන ශිල්පීන්ගේ රංගන දායකත්වයෙන් පෝෂිත, සයිමන් නවගත්තේගම  සූරීන්ගේ තිර රචනයකි.

Sunday, October 15, 2017

කියනා තරම් නෑ සෙනෙහේ හෙණ සොඳුරක්

"පුවතක් - තරුණියකගේ අඩ නිරුවත් පින්තූර ඇගේ පෙම්වතා විසින් අන්තර්ජාලයට මුදාහරියි."

පින්සර සිතින් සෙනෙහෙන් මා වී කෝල
මතකද එදා අප දෙහදේ බැඳි ආල
දැහැමෙන් සෙමෙන් ඔබ මට ලං වූ තාල
සෙනෙහස් ගඟේ කිමිදුනි නොදනිමු කාල

Friday, October 13, 2017

කැළඹේ දළ රළ.. කැළඹේ විසිරේ ‘විසි දැල’.. විසිරේ..



ශ්රීර ලංකාවේ යුධ සමයේ සමාජ ආර්ථිකය හා දේශපාලනය, රැකියා විරහිත තාරුණ්යේ, දේශපාලන පලිගැනීම්, ලිංගිකත්වය හා සමාජ අසහනය, සදාචාරය හා සංස්කෘතික සිතැඟි හා නිර්ධනයින් කොරෙහි ධනපති පන්තියේ බලපෑම ආදි සමාජ කාරණා පුළුල් කෝණයකින් නිර්මාණාත්මකව සිනමාකරණය කළ“විසිදැල” මිනිසා තමා විසින්ම වියා ගත් දැලෙහි වෙලී පැටලී නිදහසක් නොමැතිව පීඩාවිඳිනාකාරය මනාව විචිත්රිණය කර ඇත.

Wednesday, October 11, 2017

සුදු මල් පොකුරේ සුදු මල් නොපිපී රතු මල් පිපුණේ ඇයි? – ‘සුදු අක්කා’


සමාජය ඉදිරියේ මතු නොව නීතිය ඉදිරියේ ද වරදකාරියක වුණු සුදු අක්කලා එදා මෙන්ම අදත් සමාජයේ අඩුවක් නැතිය. මිල්ටන් ජයවර්ධන අධ්‍යක්ෂනය කළ සුගතදාස මාරසිංහ නිෂ්පාදනයක් වන ‘සුදු අක්කා’ 90 දශකයේ සිනමාවට එක්වූ තවත් සාර්ථක සිනමා කෘතියකි. ජෝ අබේවික්‍රම, සනෝජා බිබිලේ, වීනා ජයකොඩි, සංජය ලීලාරත්න, මහේන්ද්‍ර පෙරේරා,ප්‍රියා රණසිංහ, චන්ද්‍රා කළුආරච්චි ‘සුදු අක්කා’ හි රංගනයෙන් දායක වෙයි.

Tuesday, October 10, 2017

“නාකියා ..උඹ මැරිච්ච එකාගැන හිත හිතා ඉන්නවා.. දුව යනවා වේස කමේ…”- පුරහඳ කළුවරද?



ප්‍රසන්න විතානගේ අධයක්ෂණය කරනු ලැබූ පුරහඳ කළුවර සිනමා පටය ජෝ අබේවික්‍රම,ප්‍රියන්තා සමරවීර, නයනා හොට්ටිආරච්චි, කුමාර කරුණානන්ද, හර්ෂජිත් අබේසුන්දර, මහේනද්‍ර පෙරේරා වැනි ලාංකේය සිනමාවේ පතාකයින් පණ පෙවූ උත්කෘෂ්ඨ නිර්මාණයකි.

ප්‍රේමය අරගලයක්ද? සළෙළු වරම විත්‍රපටයෙන් කියවීමක්



වසන්ත ඔබේසේකරයන්ගේ තිර රචනයෙන් හා අධ්‍යක්ෂණයෙන් සැදුම්ලත් ‘සලෙළු වරම’ සංකීර්ණ අඛ්‍යාන රටාවකින් නිර්මිත වූ සිනමාත්මක අත්දැකීමකි.  කතාවේ අවසානයත් ආරම්භයත් සමානුපාතිව ඛණ්ඩනය වන රූපරාමු මඟින් කතාව ඉදිරියට ගමන් කරයි.

අවසන වරද කොතනද ? යන ගැටලුවට පිළිතුරු සෙවීමට චිත්‍රපටය පුරා පුනරාවලෝකනය කිරීමට ප්‍රේක්ෂකයා යොමු වෙයි..මෙහි අවසානය ආරම්භයේ ඇතුළත් කොට තිබීම මතු නොව හේතු ප්‍රත්‍ය එකිනෙකට සම්බන්ධ වීම නිසා කළු සුදු චරිත මිස දුෂ්ටයෙක් හෝ කළු චරිතයක් මෙහි අන්තර්ගත නොවෙයි..

Monday, August 21, 2017


සිත ඔබ පාමුල රදවා… 
බිදි සෙනෙහස ගිනි උහුලා…. 
අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්… 
ඔබට සෝතැවුල් නොම වේවා…..
අසුරැ සැනක් වූ රුසිරු අතීතය,  
සිහිනෙන් ගෑ මුදු සුවදක් සේ…..  
සදා රැදේවා…. ඔබේ ලොවේ…    
ඔබට පිදුම් වූ සිතක විරාගය…..  
කැටපත් පවුරක ගීයක් සේ……  
සදා රැදේවා…. ඔබේ හදේ….!! 

සුහදෙකු හා සුහදියක අතර ප්‍රේමය විප්‍රලම්භයක් වූ අවස්ථාවක පැන නගින මනෝභාවයන් මෙයින් විවර වෙයි.දෙදෙනා අතරින් සුහදියගේ සංලාපය විභූශිතය.ඇය තමාට අහිමි යැයි සිතන විජිතයෙන් සමුගෙන යන්නේ ඔහුට සුභ පතමිනි.සැබවින්ම ඇගේ ආදරයට සිදුව ඇත්තේ කුමක්දැයි සහෘදයින් තුළ නා නා සිතැඟි පහළ වෙයි.මෙය ඇගේ වරදකින් සිදුවූවක්ද,ඔහුගේ වරදකින් සිදුවූවක්ද නොඑසේ නම් අනෙකුත් බාහිර හේතුවක් නිසා සිදුවූවක් දැයි සිතීමට සහෘදයින් පෙළඹෙයි.ඇය සමුගෙන යන්නේ සිත ඔහු ළඟ නොව ඔහුගේ දෙපා අභියස තබමනි.ඇයට ඔහුව කෙතරම් අගනේ දැයි කියන්නට ඒ පදය හැර අන් කවරක් තම් ගැලපෙයිද..  
   
                                  පිරිමියාගේ වෙනත් කාන්තාවක සමඟ තිබූ සබැඳියාවක් හෙළි වීමකින් ඇය වෙන් වී යෑමට සිතුවායැයි සිතමු.එහෙත් ඇයට ඈ පිළිබඳවම වෛරයක් නොව ආත්ම සංවේගයක් පවතින බවක් පෙනෙයි.ඇගේ ඇඬුම්බර ස්වරය අපිව ඇගේ අත්දැකීම එලෙසින්ම අත් විඳීමක් කරලීමට සමත් වෙයි.මෙය පොදු අත්දැකීමක් වනුයේ වියෝවන්ට බොහෝ අයට මුහුණදීමට සිදු වන බැවිනි.ඇයට ඔවුන්ගේ සුන්දර අතීත මතකය අසුරු සැනක් සේය.එවදනින්ම ඇගේ එම අතීතයට පවත්නා ලැදියාව ධ්වනිත කෙරෙයි.අප ගතකරන සොඳුරුතම අවස්ථාවන්හා කාලය හා අවකාශය පිළිබඳව හැඟීම් දැනීම් නොමැත්තේය.එවන් අවස්ථාවන්හි කාලය කොතරම් ගතවූවාදැයි නොදැනෙයි.ඇයට එය යථාවක් නොමැති සිහිනයක් සේ දැන් දැන් හැඟෙයි.එම සිහිනය තුළ ගෑ මුදු සුවඳකි ඔහු පිළිබඳව ඈ තුළ වන මතකය.   ඇය ඔහුගේ සුබ සිද්දියම පැතුවද ඔහුට තමාව අමතක වේ යැයි ඈ තුළ පවතිනුයේ බියකි. ඇගේ ප්‍රාර්ථනය ඒ සොඳුරු මතකය ඔහුට කිසිදිනක අමතක නොවීමයි. ප්‍රේමය ආත්මාර්ථකාමි සංකල්පයක්ම නොවන්නේ දැයි අපට යළි සිතෙනුයේ මෙවන් අවස්ථාවන්හිය.‘සදා රැඳේවා.. මගේ ලොවේ..නොයොදා මෙලෙස පද පිහිටවූයේ එබැවිණි. ඈ ඔහුට පුදනු ලැබූවේ පූජනීය ප්රේමයක් බැව් ඈ මතක් කොට දෙයි.ඒ තුළ වූයේ රාගයෙන් පරිබාහිර ප්‍රේමයකි.මන්ද ඒ ප්රේපමයේ මුල් අවස්ථාව පමණකි. ඇයට ප්‍රේමය රාගය කරා පියමනින තෙක් ඔහු වෙත රැඳී සිටීමට කාලයක් නොවීය.නමුත් ඇය තවමත් ඔහුට ප්‍රේම කරයි.කැටපත් පවුරක ලියනු ලැබූ කිසිවක් යළි නොමැකෙයි.එය ශිලාමය සටහනකි.ඔබේ හද නමැති කැටපත් පවුරෙහි තමාගේ විරාගී ගීය සටහන් වේවා යැයි ඈ පතයි.ඈ තුළ පමනක් ඒ මතකය තිබීම ඇයට සෑහිය නොහැකිය.  

                               

ප්‍රේමයේ ද්වී පාර්ෂ්විකත්වය සෑම පෙම්වතෙකු හෝ පෙම්වතියක්ම ප්රාකර්ථනා කරයි.ඇය අහිමි විජිතයෙන් සමුගෙන යන්නේ ගතින් පමණකි.සිතින් ඇය තවමත් ඔහුට බැඳී සිටියි.ඈ බලා සිටියි යමි දිනක ඔහු යළි එන තුරු..සිතින් හෝ දෙදෙනා පෙම්වතුන් වීම ඈ පතයි..ඔහුට සුභාශිංෂණය කිරීම තුළද ඈ පතන්නේ තමා ගැන අනුකම්පා මාත්‍රාවක් ඔහුගේ සිතෙහි හෝ වෙන් කළ වෙනත් බලවේගයක් තුළ හෝ ජනිතකර ලීමේ අවිඥානික මනෝභාවයම නොවන්නේද? 
-TharushiNawanjana http://nadarataa.blogspot.com/


Friday, August 18, 2017



28 සිනමා පටයට මා මහත් සේ ආශක්ත වී ඇත. ඒ ඇයි යන්න මාගේ මේ සටහන අවසන ඔබට වැටහෙනු ඇත. එනිසාම මෙය හුදෙක් විචාරයක් ලෙස නොව ප්‍රේක්ෂිකාවකගේ කියවීමක් ලෙස පමණක් සිතන ලෙස මම ඔබට ආරාධනය කරමි.

එය සුද්දිගේ කතාව නොව සුද්දිලාගේ කතාවයි. ප්‍රතිභා පූර්ණ සිනමා කරුවෙකු වන  ප්‍රසන්න ජයකොඩිගේ උත්කෘෂ්ට සිනමාත්මක අත්හදාබැලීමක් ලෙසයි මා එය හඳුන්වන්නේ. ලිංගිකත්වය කෙරෙහි පවතින සැකය බිය නොදැනුවත්භාවය හා කාන්තා හිංසනය පිළිබඳව පුළුල් ලෙස විදහා දක්වන සමාජ අතුල් පහරක් ලෙසයි මට මෙය හැඟෙන්නේ. වෙනස් ආකෘතියක් ඔස්සේ දිගහැරෙන මෙම සිනමා පටයේ කතාව දිගහැරෙන්නේ ගමනක් යන අතරතුර වීම තවත් විශේෂත්වයකි.
“අපේ රටේ තමන් ගැන ඇත්ත කියන්න පණ තියෙන මනුස්සයෙකුට නම් බෑ.“
එසේ නම් ඒ ඇත්ත අපට දැනගත හැක්කේ කෙසේද? මරණයෙන් පසු ඇගේ ආත්මය හඬ අවධි කරන්නේ ඒ ඇත්ත පහදා දීමටයි. සමාජයේ වෙසෙන සුද්දිලාට ඔවුන් වෙනුවෙන් හඬ නැගිය නොහැකිය. ඔවුන් මැරි මරී වුව ද ජීවත් විය යුතු බැවිනි. නමුත් මේ සිනමා පටයේ ප්‍රධාන චරිතය වන  සුද්දිගේ ආත්මයට ඒ සැඟවුණු කතාව හෙළි කිරීමට බාධාවක් නොමැත. ඒ මල සිරුරකට ගර්හා නොකිරීම පිළිබඳ ලාංකේය සමාජය වෙත තැබිය හැකි විශ්වාසය නිසා නොව ‘හූ’ ව සුද්දිට අමුතු දෙයක් නොවන බැවිනි.
සුද්දිගේ මෘත දේහය අයිස්ක්‍රීම් වාහනයේ ඉහළ බැඳ ගෙන යන විට එක් වරෙක ගමක කොලු කුරුට්ටන් හූ කියන අවස්ථාවේ දර්ශනයක් මෙහිදී සිහිපත් වේ.  කෝපයෙන් ඔවුන් වෙත ගල් ප්‍රහාර එල්ලකිරීමට තැත් කළ මනීව ඉන් වළක්වන අබසිරි ඔවුන් වෙත මෙසේ පවසයි.

“මේ ගෑණිට හූ කියන්න කලින් උඹේ අම්මට හූ කියලා වරෙන්“

ඔවුන් අම්මාට ‘හූ නොකියා සිටින්නේ නැත. ඒ හිස් මුදුනින් මෑණියන්ට නමස්කාර කරන අතරම යමෙකුට පරිභව කරන අවස්ථාවේදීත් අම්මාට..මුව විවර කරන පුරුෂභාවයේ මුල් අවධියයි.
“මගේ මනුස්සයට මාව හම්බවෙන්නෙ හම්බවෙන්න ඕනම නැති තැනකදි.  අවසානේ එයා මාව කසාද බඳින්නම් කිව්වා. “
සුද්දිට තම සැමියා හමුවන්නේ හමුනොවී තිබිය යුතු තැනක දී බවයි ඇගේ අදහස. ඇය ඔහු හා විවාහ වීමට තීරණය කරනුයේ ඔහු ඇයට වඩා වසර15ක් වැඩිමහල් වීම, ඔහුගේ රූපයට ආලයකිරීම ආදී කිසිම කරුණක් නිසා නොව ඇයට විවාහ යෝජනාවක් ගෙන ආ ඔහුගේ වචනයට ඇගේ හිතේ ඇතිවන ගෞරවය නිසාය. මන්ද ලැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ඇගේ ළය ඔහුවත් හඳුනාගන්නට ඇතැයි ඇය සිතන්නට ඇති.
සුද්දි මල එකියක් බව ප්‍රේක්ෂකයා දැන ගන්නේ පසුවය. පළමුව ඇය මෝචරියේ සිට අනෙක් මල සිරුරු පිළිබඳව හඳුන්වා දෙයි. පිරිමින් විසින් දූෂණය කොට මරා දමන ලද සිරුරුය ඒ අතර බොහෝ වූයේ. මල සිරුර ගමට ගෙන යෑමට උත්සුක වන අබසිරි නැමැත්තා හා ඔහුගේ ඥාති පුත්‍රයා වන මනී නැමැත්තා හා සුද්දි අතර පවතින සබැඳියාව කුමක්දැයි කතාවේ අවසාන භාගය තෙක් ප්‍රේක්ෂකයා හඳුනා නොගනියි.  එමෙන්ම සුද්දි පිළිබඳව සත්‍ය දැන ගැනිමට කතාව පුරා ප්‍රේක්ෂක කුතුහලය දිව යයි.
කතාවේ එකිනෙක සිදුවීම අතර සම්බන්ධතාවය ඉතා සංකීර්ණ එකකි. සිනමා පටය නිම වූව ද ප්‍රේක්ෂක සිතේ නැවත නැවත මතු වී පෙනෙන දර්ශන එකිනෙකට යා කොට අපූරු කතාවක් තනා දෙයි. එය එකිනෙකාගේ රස වින්දන පරාසය අනුව විවිධ විය හැකිය. එනිසා මෙම සිනමාපටය පිළිබඳව ද ඒකාමතික අදහසක් ලබා ගැනීම බලාපොරොත්තු විය යුතු නෙවේ. එය සිනමා පටය ඉතා සාර්ථක එකක් බවට තවත් සාක්ෂ්‍ය සපයයි. සෑම සිද්දියක්ම තවත් සිද්ධියක් හා මනාව ගලපා ගත යුතුය. හේතු ප්‍රත්‍ය අතර සම්බන්ධතාව අවබෝධ නොවුන අයෙකුට වුවද මෙය අපභ්‍රංසයක් නොවන්නේ සරල වින්දනයක් ලබන්නෙකුට ද මේ තුළ ඉඩ ප්‍රස්ථාව සකසා ඇති බැවිනි. සිනමාපටය පුරා ඉතාම ප්‍රබල භාෂාවක් භාවිත කරයි. සෑම දෙබසක්ම ඉතාම ගැඹුරු සංවේදනයන් ජනිත කරවයි.
 “ලාම්පුව නිවලා මෙට්ටෙ බිමට අරන් අපි දෙන්න රඟපාන්න ගන්නකොට එළිවෙලා”යැයි උණුසුම් හැඟුමකින් කියනා සුද්දී  “අබසිරියි මායි බැඳලා අවුරුදු පහළොවක් වෙනවා හැබැයි ඊයේ රෑ තමයි අබසිරි පළවෙනි වතාවට මගේ හෙළුව දැක්කේ. ඒ මල් ශාලාවේ එම්බාම් ලෑල්ල උඩ”යැයි පවසන්නීය. ලාංකේය සමාජයේ ලිංගික අධ්‍යාපනයේ හිඩස මල බිරිඳගේ හෙළුව එම්බාම් කාමරයෙන් දැකීම දක්වා විහිද ගිය හැටි. මෙය නිර්මාණකරු ව්‍යංගයෙන් සිදුකරන ඉතා කර්කෂ සමාජ විවේචනයකි.  Sex යනුවෙන් google සෙවීම් කර වාර්තා පිට වාර්තා තබන රටක පිරිමින් තම බිරිඳ සමඟ සම්භෝග සුව විඳින්නේ අන්ධකාරයේය.  ගැහැණියගේ හැඟීම් වලට අවදිවීමට ඉඩ නොතබාම තම ආත්මාර්ථකාමී කාර්ය ඉටු කොට ගෙන පැත්තකට හැරී නිදියන සැමියන් නිසා සුද්දි තම පීඩාව ඉකියකින් පිට කරයි.
 සුද්දිගේ මාමණ්ඩියට බාත් රූම් එකට උඩින් එබී සුද්දිගේ හෙළුව බලන්න ඕන වුණේ ඇයි? ගමේ කොළු කුරුට්ටන් සුද්දි දිය නාන වෙලාවටම ගඟට පැමිණියේ ඇයි?
සංස්කෘතික කඩ තුරාවෙන් වැසුනද ප්‍රකෘතිය වැට කඩුළු බිඳ තවෙකෙකුට හිංසනයක් වීම දක්වා වර්ධනය වී ඇත.  ගමේ කොලු කුරුට්ටන්ට සුද්දිගේ සිරුර මැජික් එකකි. මාමණ්ඩි ද රාත්‍රි‍යේ පහන නිවා සංසර්ගයේ යෙදුණු අයෙක් විය හැකිය. එනයින් ඔහු සුද්දිගේ සිරුරේ නිරුවත බැලීමට බාත් රූම් එක තුළට එබෙයි. ගමේ අයට ද ප්‍රශ්නය වූයේ මාමණ්ඩිගේ හැසිරීම නොව සුද්දි නාන කාමරයේ හෙලුවෙන් නෑමයි. සුද්දිට ගමෙන් පිට වීමට සිදුවූ විට ඇය නවතා ගැනීමට ස්ත්‍රීන්ගේ හැට හතර මායම් හොයන අබසිරිට හයියක් තිබුණේ නැත. ඒ අනුව අපහාස ඉවසා හුස්ම ගන්නා සුද්දි ඔහුට වඩා ශක්තිමත් කාන්තාවකි. ඒ බව අබසිරිගේ හෘද සාක්ෂිය පිළිගනියි.
සුද්දිගේ මෘත ශරීරය දෙස බලා, “ සුද්දිට අගෞරව කරන්න එපා“ යනුවෙන් පැවසූ අබසිරිට වත් සුද්දි ජීවත්ව සිටින කාලයේ සිදුවන අගෞරව වලින් ඇයව මුදා ගැනීමට නොහැකි විය.
මිනි පෙට්ටිය ගම වෙත ගෙන යෑමට ඔවුන් තෝරාගත් අයිස්ක්‍රීම් වාහනයේ රියදුරු මහතා වනුයේ ලෙනින්ය.  මිනියක් රහිත හිස් පෙට්ටියක් බව පැවසුව ද  මුල් අවස්ථාවේ ලෙනින් එයට අකමැති වන නමුත් පසුව ඔහුව කැමති කර ගැනීමට අබසිරිට හැකිවෙයි. පෙට්ටිය වාහනය උඩ රාක්කයේ බැඳ ගෙනයෑම සිදුවෙයි. මෙය සාමාන්‍ය සමාජයේ සිදු වන දෙයක් නෙවෙයි. කුමක් වන්නට යන්නේ දැයි කුතුහලය තව තවත් තීව්‍ර වෙයි.
සමාජය තම වර්ගයේම මිනිසුන් මල පසු එම සිරුරු වලට අනියත බියක් ඇති කර ගනියි. මිනී පෙට්ටියක් ඉඩ කඩ සහිත ඕනෑම වාහනයකින් ගෙන යෑමට හැකි වුව ද සමාජ සම්මතය එය නොවේ. අබසිරි හා ලෙනින් අතර සංවාදයේදී උපහාසය හා සමාජයෙන් ප්‍රශ්න කිරීමක් ද ඇතුලත්ය. ලෙනින් විකට චරිතයක් නොවුවද ඔහුගේ කතා ප්‍රේක්ෂක මුවට සිනහවක් නංවයි. නමුත් ඒ තුළත් ගැඹුරු දෙවන පෙළ අරුත් කැටි කොට ඇත.
“මං ඉපදිලා තියෙන්නෙ ලෙනින්ගෙ උපන්දිනේට දවස් හතරකට පස්සෙ..“
ආ ෂෝක් නේ…
ප්‍රේක්ෂක මුවට සිනා නංවන උපහාසාත්මක දෙබස් දිගින් දිගටම මෙහි ඇතුලත් කොට ඇත. ඇතැම් විට ප්‍රේක්ෂකයින් සිනාසෙන්නේ තමන්ටමය. ලෙනින් හා මානි එක්වී ගයන ගීතය අබසිරිගේ ශෝකය වඩවයි. ඔහු එය නවතන ලෙස කෑ ගසන්නේ එබැවිනි. නමුත් මේ වන තුරු තම වාහනයේ උඩ ඇති පෙට්ටියේ මල සිරුරක් ඇති බවක් ලෙනින් නොදනියි. එම මලසිරුර ලෙනිනුත් දන්නා හඳුනන අයෙකුගේ බව මේ කිසිවෙක් නොදනයි. කෙරතරම් සංකීර්ණ සිදුවීම් ජාලාවක් වුවද සියල්ල භව්‍ය ගුණය රැගත් හේතු ප්‍රත්‍යන්ගෙන් සාධාරණීකරණය වන සිදුවීම් ජාලයකි. අවසන ලෙනින්ද සුද්දි ළඟට පැමිණි එකෙක් බවට ප්‍රේක්ෂකයින්ට හඳුනාගැනීමට හැකිවෙයි. ලෙනින්ගේ එම අහඹු හඳුනාගැනීම කොයි අවස්ථාවේ අනෙක් දෙදෙනා සමඟ බෙදා ගනිවි දැයි ඔබත් බලා සිටියා විය හැකිය. නැත. ලෙලින් කිසිවිටෙක එම සත්‍ය නොපවසයි. රාත්‍රියේ සම්භෝග සුව ලබා දිවා කළ අපහාසයට බඳුන් වන ගැහැණියක් වටා සිටි තවත් එක් පිරිමියෙකි ලෙනින්.

“9 පන්තියට යන්න කලින් මං ලොකු ළමයෙක් වුණා..අලුත් අච්චු පොත් හම්බුණු ගමන්ම අපි පෙරළුවෙ විද්‍යාව පොතේ අගටම තිබුණු ප්‍රජනන පාඩම..මට දැන් අවුරුදු 38 ක්..තාමත් ඒ පාඩම මට උගන්නලා නෑ..,”

ලංකාවේ ඊනියා සංස්කෘතිකවාදී ගෝත්‍රික ලක්ෂණ නිසා ළමුන්ට නිසි ලිංගික අධ්‍යාපනයක් ලබා නොදීම මහා ඛේදවාචකයක් බව නොවේද මින් කියාපාන්නෙ? ඇයට වයස අවුරුදු 35ක් මතු නොව ඇය මිය යන තුරා කිසිවෙකු ඇයට ප්‍රජනන පාඩම උගන්වා නැත. ඇය වැනි ප්‍රජනන පාඩම ඉගෙනනොගෙනීමේ පාපයට ජීවිතයෙන් වන්දිගෙවන තරුණියන් කෙතරම් සිටියිද?

මිනිය ගෙන යන රියේ රියදුරු මහතා වන ලෙනින් මිනී පෙට්ටිය රැහැන් බුරුල් වී බිමට වැටී නැවත ගොස් එය සොයාගන්නා තුරු එහි මල සිරුරක් ඇති බවක් නොදනියි. මනී සහ අබසිරි එය ඇඟවීමට කිහිප අවස්ථාවක් උත්සාහ කරයි. එය ප්‍රේක්ෂකයාට ද හාස්‍ය රසය ජනිත කරන්නකි.

, ඇත්තටම බලාගෙන යනකොට මේ පෙට්ටියේ මිනියක් වුනත් අරන් යන්න පුළුවන්නෙ.

පිස්සු නම් කතා කරන්න එපා. පොලිසියෙන් අල්ලයි.

හහ් හහ් හහ්..

එකිනෙකට වෙනස් හැඟීම් සමුදායක් කැටිකර ගත් මෙම නිර්මාණය විටෙක ප්‍රේක්ෂකයා සිනා ගස්වයි. ඒ සැනින් ඔවුන් හඬවයි. තවත් වරෙක නිරුත්තර කරයි. විටෙක උපහාසයට බඳුන් කරයි.  කුසුමේ, බියට්‍රිස්, කමලනී ලෙසින් මෙවැනි සුද්දිලා බොහෝ දෙනෙක් සමාජයේ ජීවත් වෙයි. මැරි මැරී ජීවත්වෙයි
සුද්දිගේ යොහෙළියක් වන කුසුමේ තම සැමියාගේ ගුටි බැට ඉවසා ගත නොහී අවසන පිරිමින් ඉදිරියේ දෙපා පළල් කිරීමට සිදු වූ ගැහැණියකි. ඇය තම නිවසේ සිටිනවාට වඩා විඳිනා එකම දෙය නිවාස අඩස්සියේ සිට නොලැබූ නිදහස පමණි.  කුසුමේ පැවසූ දෙයක් සුද්දි සිහිපත් කරන්නේ මෙසේය.
“ මිනිහා කියන කියන විදිහට ඉන්නයි.හොඳම ගෑණී වෙන්නයි දෙකක් බෑනේ..,“ඇගේ ස්වාමිපුරුෂාට අවශ්‍ය වූයේ එයයි. පසුව ඈ වෙත පැමිණි පිරිමින්ට අවශ්‍ය වූයේ “ ඇය තමන් කියන කියන විදිහට සිටීම,“ පමණකි. ඔවුන්ට ඇය හොඳ ගෑණි වීම අවශ්‍ය නැත. පිට ගැහැණිය සමාජයේ නරක ගෑණි වීම ඔවුන් වඩාත් තෘප්තිමත් කරවයි. තම බිරිඳගේ දෙපා දක්වා සළු අන්දවා හිස කේ පවා දිගට වැවීමට උපදෙස් දී අනෙක් තරුණියන්ගේ කෙටි හිසකේ හා කෙටි සාය පතන පිරිමින් ය බොහෝමයක් සිටින්නේ.  කුසුමේ, සුද්දි වැනි ගැහැණුන් තම පුරුෂයා සමඟ වෙසෙන කාලයේ ද අනෙක් පුරුෂයන්ට කකුල් පළල් කිරීමට සිදු වූ කාලයේ ද නොවෙනස්ව තිබූ එක් පොදු ධර්මතාවයක් හඳුනාගත හැකිය. ,“ කියන කියන විදිහට හැරීම“ – ස්ත්‍රී ලිංගියක් ඇතිව ඉපදීම යනු පිරිමින්ගේ අවශ්‍යතාවයන් ඉටුකරගැනීමට භාණ්ඩයක් වීම යන අර්ථයද? ගැහැනුන් පිරිමින්ට අහේතුකව කීකරු විය යුතුද? ලිංගික කාර්යයේදී එය අනෙක් අවස්ථාවන්ටත් වඩා ප්‍රබලව සිදුවන්නක් බව නොවේද කුසුමේගේ ඒ කතාවෙන් ඉස්මතු වන්නේ,..

 “කසාද බඳින්න උඹට තියෙන්නේ දෙපරැන්ද අස්සේ තියෙන එක විතරයි”යැයි අබසිරි වරෙක සිය ඥාති පුත් මනිට පවසද්දී ඔහුගේ පිළිතුර වන්නේ “ඒක තිබුණාම මදෑ” යන්නය. පුරුෂයින් බොහෝ දෙනෙක් සිතා සිටින්නෙ ඒ අයුරිනි. ගැහැණියකගේ ජීවිතය, බලාපොරාත්තු, හැඟීම් තුට්ටුවකට මායිම් නොකරන ඇතැම් ආසියාතික පිරිමින් පිරිමිකම නමැති සුකුරුත්තම් කෑල්ල  සියල්ලටම ලොකුම  සුදුසුකම කර ගනියි.

සමාජය සියුම් ලෙස උපහාසයට ලක්කරන මේ චිත්‍රපටය පුරා නිර්මාණාත්මකව ප්‍රතිනිර්මාණය කළ තිත්ත ඇත්තක් අභිමුව ප්‍රේක්ෂකයා ඇද බැඳ තබා ගැනීමට සාර්ථක උපක්‍රම භාවිත කොට ඇත. අවසානයේ සුද්දි පවසන්නේ,

 “අබසිරි, එළියේ ඉන්න මිනිස්සුන්ට කියන්න මැරිච්ච ගෑනු විතරක් නෙවෙයි උන්ව මරපු මිනිස්සුත් පව් කියලා” මොන තරම් මානව දයාවෙන් යුතු ප්‍රකාශයක් ද ඒ?

ප්‍රේක්ෂක හදවත හඬාවැටෙයි. අවසන ඈ මේ තත්වයන්ට ඇද දැමූ සමාජ ප්‍රපංචයන්ටද වෛර නොකරන බව නොවේද ඒ පවසනුයේ? 9 ශ්‍රේණියේ ප්‍රජනන පාඩම ඇයට සේම ඔහුට ද අහිමි වූ බව ප්‍රත්‍යක්ෂයෙන් දැන සිටි නිසා ඇයට පිරිමින් පිළිබඳව ද හැඟීම් සානුකම්පාවකින් අවසන් වෙයි.

සිනමා පටයේ කිසිඳු දර්ශනයක කිසිම ගැහැණියෙකුගේ හෝ පිරිමියෙකුගේ මුවින් ගණිකාව යන වචනය පිට නොවෙයි. මා එය දකින්නේ හුදෙක්ම කතාවේ ගලායෑම හා කුතුහලය රඳවා ගැනීමට ගත් උත්සාහයක් ලෙසින් නොව සාධාරණත්වයේ මානව හිතවාදී සත්‍රීවාදී ස්වරූපයේ ගලා යාමකි. දින 28ක චක්‍රය අතරතුර ගැහැණුන් ජීවත් වෙයි. ඊට වඩා මියයයි. ඊට වඩා මැරි මැරී උපදියි.

අබසිරි  මිනියට තනි වීමට අවශ්‍ය බව දැන වැසීමට යන තිරය නොවසාම කතාව නිමා වෙයි. අබසිරිට ප්‍රෙක්ෂකාගාරයේ සිට පිටවී යන තවත් සුද්දිලා දැක එය වැසීමට පවා අමතක වූවා විය හැකිය.

සටහන – තරුෂි නවංජනා ලියනාච්චි

Friday, July 21, 2017

හැමදාම ඇඳන් යට හැංගුනා රෑ වෙද්දි
අම්මාට සහලෝල මී උණක් බෝ වෙද්දි
පිංගාන් ආකාසෙ එහේ මෙහෙ පාවෙද්දි
ගින්දරින් පච්ච ගැට ලාම්පුව පෙරලෙද්දි

“කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ලඳුනේ..”

සංගීත ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකේය සළකුණ වන කේමදාසයන්ගේ අද්විතීය සංගීත සංයෝජනයෙන් ද,  තම හඬ පෞරෂයෙන් අමරණීය වූ අසහාය ගායක අමරසිරි පීරිස් මහතාගේ ගායන්යෙන් ද සෞන්දර්යවේදී ප්‍රවීණ ගීත රචක රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ගේ පද සංකලනයෙන්ද රසෝජිත සමාජ යථාර්ථයේ පත්ල සංස්පර්ශ කළ ගීතයකි.. ලඳුනේ…
ලඳුනේ ලඳුනේ
ඔබේ දෑස දැක ගත්තෙමි
සැදෑ කලෙක ලඳුනේ…ලඳුනේ
දෙනෝදහක් අතගත්තද
සැමියෙකු නැති ලඳුනේ
නෑයෙක් නැකම නොකියන
වීදි සරන ලඳුනේ…ලඳුනේ
තෙල් මල් ගෙන දෝත පුරා
මුණි කුටියට පියමංවන
 ඔබේ දෑස දැක ගත්තෙමි
සැදෑ කලෙක ලඳුනේ…ලඳුනේ
බුදුන් දැක නිවන් දකිමැයි
දෙව්රම යන පාර අහන
ඔබද පටාචාරාවකි
ඔබද කිසාගෝතමියකි
පිරිමින්ගේ පාප කදට
දෝස විදින ලඳුනේ
අදුරේ පව් කරන දනා
එළිය ලබන ලඳුනේ
ලැම පමනක් ලොවට පෙනෙන
ලය නොපෙනෙන ලඳුනේ
සුදුසුම වදන් සුදුම තැනට යොදා සිදු කළ මෙම නිමැවුම රසික සහෘදයා කැඳවා යන්නේ තිත්ත වූ ඇත්තක් අභියස ඔවුන් නිරුත්තර කිරීමටයි. සමාජ සම්මතය අනුව කෙළ පිඬක් සේ ඉවතලන්නෙකි ඇය. පිරිමින් රහසින් ඇය පතා එයි. නමුත් සමාජය ඉදිරියේ ඇයට නිග්‍රහ කරයි. ඇයගේ සැබෑ කතාවයි මෙම ගීතයෙන් ප්‍රතිනිර්මාණය කෙරෙනුයේ.
“දෙනොදහක් අත ගත්තද සැමියෙකු නැති ලඳුනේ..”
ඇගේ කායික ස්පර්ශය සොයා එන පිරිමි දෙනොදහක් වෙති. නමුත් ඇයට සැමියෙකු නොමැත. පිරිමින් ඈ ලවා තම සන්තෘප්තිය ලබා ඈ හැර යයි. තවත් කෙනෙක් පැමිණෙයි. ඔහු ද ඇය හැර යයි. ඔවුන් ඇය  ළඟ රැඳෙන්නේ තම සංස්තෘප්තියේ කූටප්‍රාප්තිය තෙක් පමණි. නමුදු ඇයට අවශ්‍ය සෙනෙහස, ආරක්ෂාව සපයන්නට කෙනෙකු නොමැත. ඒ වෙනුවට ඇයට සමාජය ඉදිරියේ ගල් ගසයි.
ගීතයේ කතා නායකයාට ඇය හමුවන්නේ සුවිශේෂී අවස්ථාවකයි. අපට සුවිශේෂී වුවද එය ඇයට සාමාන්‍ය ජීවිතයේ සිද්දියක් පමණකි. සැඳෑ කළ ඇය පියමං වනුයේ බුදුන් පිදීමටයි. තෙල්, මල් දෝතින් රැගෙන සැදැහැයෙන් මුනිඳු පුදට යන ඇය බුදුන් කළ විසූ කිසා ගෝතමියම, පඪාචාරාවම සිහිපත් කරවයි. එය ඉතාම ප්‍රබල ප්‍රකම්පනයක් රසික හදට දනවයි. ඈ වැනි කතුන්ට පරිභව කරන පාර්ශවයට අතුල් පහරක් ගසයි. ඇය සොයන්නේ අපායක් නොව. මන්ද ඇගේ සිතේ පවිටු සිතුවිලි නොමැත. ඇය සොයන්නෙ දෙව්ලොවක් ද නොව. මන්ද ඇය සැප සම්පත් සෙවීමට නොයයි. නමුත් ඇය දෙව්රම සොයයි. ඒ අධ්‍යත්මික විමුක්තිය උදෙසාය. එසේ නම් අප සමාජය විසින් පරිභව කොට ඉවතලන ඇය අපට වඩා ඉදිරියෙන් සිටින ගැහැණියකි. පුළුල් සමාජ අවබෝධයක් සහිත ගැහැණියකි. ඇගේ ජීවිතයට පරිභව කිරීමට පව්කරන දනට ඇති අයිතිය කුමක්ද? මෙය ප්‍රබල සමාජ විවේචනයක් වුවද ඉතාම සංයමයෙන් ගැලපූ පද . හඬ හා සංගීත මුසුව මෙම ගීතයේ අර්ථය තීව්‍ර කරයි.
ඥාතීන්ට ද ඇය ලැජ්ජාවකි. ඔවුන් ඇය තම පරම්පරාවෙන්ම බැහැර කරයි.
බමරුන්, දෙබරුන් මල කරා යයි. පසුව සමාජයේ දෝෂ දර්ෂණයට ලක්වන්නේ එවැනි මල් මිස මල් වෙත ආ පිරිස නොවෙයි. පිරිමින්ගේ පාප කඳට දෝස විඳින ලඳුනේ .. යන්න ඉතාමත් ප්‍රබල යෙදුමකි. සමාජයේ දෝෂ දර්ශනයට පාත්‍ර වනුයේ වැරදි සිදුකරන පිරිස නොව තවත් පිරිසකි. එය කෙතරම් අසාධාරණ ද යන්න මෙම ගීතයෙන් විමසෙයි.
මිනිසුන් සැඟවී වැරදි කරයි. සන්තෘප්තිය නැමැති ආලෝකය ඇය කරා ගොස් ලැබ ගනියි. නමුත් ඇයට පරිභව කරයි. එවැනි කාන්තාවන්ගේ දුක සන්තාපය, හැඟීම්, මානසික අවශ්‍යතා, උණුවෙන ළය, සංවේදීභාවය පිටතට නොපෙනෙයි. ඇය හා සහෘද වී ඇගේ සන්තාපය, ඇගේ කතාව ඇසීමට කිසිවෙකුට උනන්දුවක් ද නැත. නමුත් ඇගේ බාහිර ශරීරය දැකබලා ගැනීමට ඔවුන් ඇගේ සළු උනා දමයි. “ලැම පමණක් නොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ..“ යන්නෙනි මෙම සංකීර්ණ අදහස කියාපාන්නේ.
කුහුඹුවෙකුට වරදක් නැති වැරදිකාර ළඳුන් කොතෙකුත් අප රටේ වෙසෙයි. සමාජය විසින් සියලු වැරදි ඇය වෙත පටවා ඇත.මෙම ගීතය ලංකාව වැනි ආසියාතික රටවල ගණිකාව යනුවෙන් පරිබව කරන කාන්තාව පිළිබඳ මානව හිතවාදී , සහානුකම්පිත දෘෂ්ටියකින් ලියැවුණු එදා සේම අදටත් සමාජයට පණිවිඩ රැසක් ලබා දෙන ගීතයකි .

තරුෂි නවංජනා ලියනාච්චි


ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ..?





රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
අරුණළු කැරලි වැටෙනා සඳ අළුයමට
නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට


තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ
නින් එළියටයි පෙති ගෝමර දැවෙන්නේ
මල් විය නොවෙද මේ දියකර හරින්නේ
මැසිමද හිතද මහ හයියෙන් හඬන්නේ

නුඹෙ කඳුලැලිද සයුරේ රළ නඟන්නේ
හද සුසුමන්ද පවනක් වී හමන්නේ
තනි නොතනියට හෙවනැල්ලද සිටින්නේ
ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ..”


පද රචනය: බන්දුල නානායක්කාරවසම්
සංගීතය: රෝහණ වීරසිංහ
ගායනය: සුනිල් එදිරිසිංහ






ජීවිතය යනු රැකියාවක් නොවන අතර රැකියාවක් යනු මුදල් ද නොවේ. ඒත් බොහෝ දෙනෙක් ජීවිතය තම රැකියාව කරගෙන රැකියාව මුදල් කරගෙන ජීවිත කාලය පුරා මියැදෙමින් සිටිති. ඒ අතරිනුත් බොහෝ දෙනෙක් යට කී දෑ සිදුකරන්නේ කැමැත්තකින් නොවේ. නමුත් ඔවුනට එසේ කරන්නට සිදු වී ඇත. අහිංසක ජනතාවගේ ශ්‍රමය සූරා කමින් මඩිය තර කරගන්නා පෞද්ගලික ක්ෂේත්‍රයේ රැකියාවන් අතර ප්‍රමුඛ ස්ථානය රඳවා ගනිමින් තිබෙන ඇඟලුම් කම්හල් එදා සේම අදත් පවතියි.
විඩාව නිවනට රාත්‍රිය එළඹෙයි. එය නිසංසලය.එය සෞම්‍යයය. සඳ කිරණ හැලෙන තරු පිරි අහස සැනසීම උත්කෘෂ්ටියට නංවයි. නිවසේ දරු මා පියන් එකට එක්වෙයි. දරුවන්ගේ සිනා කිකිණි රැව්දෙයි. රාත්‍රිය යනු මිහිපිට සුරලොවකි. අන්ධකාරය නුවන් පියවා සිත ගත වෙහෙස නිවාලයි. රැහැයි හඬ නැළවිලි ගී ගයයි.

එවන් රාත්‍රියක මුදු මොළකැටි ළඳුන් යකඩ අඬු දඬු අතර සිරවෙයි. ඒ ඔවුන්ගේ රෑ වැඩ මුරයයි. නොනිදන රාත්‍රිය පුරා දහදිය කඳුළු වගුරුවා ලබා ගන්නා සොච්චම තනි දිවියක් රක්ෂණයට සීමා නොවෙයි.
රාත්‍රිය නිමා කිරීමට හිරු කන්ද කපා එබෙන අළුයමයි.  කුරුල්ලන්ගේ කිචිබිචිය පියවුණු දෙනෙත් ඇහැරවයි. දසත මල් පිබිදෙන හිමිදිරියේ ඇගේ වත කුසුම මැළවෙයි. ඇගේ විඩාව නිවාගන්නට එක් නිමේශයක් එළඹී ඇත. “නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට” සොබාදහම විඩා නිවාගැනීමට දුන් කාලය හමාර වී ඇත. නමුත් ඇයට ඒ කාලය උරුම නොවීය. එය සැබෑවටම ශෝකාන්තයකි. ගීතයේ සෘජුවම එය ,“පෙර කළ පවට, යනුවෙන් හඳුන්වා ඇත්තේ බොහෝ තරුණියන් තමන්ගේ ශෝකාන්තය තේරුම් ගැනීමට පවා නොහැකි යන්ත්‍රයන් බවට පත්ව ඇති නිසා විය හැකිය.
තරුණියන්ගේ මොළකැටි සුකොමල බව අතීතයේ වර්ණනා වූ සෑම තැනකම පෙති ගෝමර ගැන කියැවෙයි. එය ඔවුන්ගේ සුන්දරත්වයේ සළකුණකි. නමුත් අපගේ මාතෘකාවට බඳුන්වන තරුණියන්ගේ පෙති ගෝමර දැවී යන බව ගීතයේ සඳහන් වෙයි. ඒ කම්හලේ නොනිවා දැල්වෙන නියොන් ආලෝක පහනින්ය. එම ආලෝකය පෙති ගෝමර දවාලීමෙන් නතර නොවෙයි. දෑසට සහ සමට මෙන්ම මනසටද හිතකර නොවන ආලෝකයකි එය. ඔවුන්ගේ දෑඟිලි තුන් තිස් පැයේ නිදිවරන බව පැවසයි. මෙය කෙතරම් අපූරු පද සංකලනයක්ද? තුන් තිස් පැයේ ඔවුන් නිදි වරයි. ඔවුන්ගේ දෑස් නිදිවරයි. එහෙත් දෑඟිලි ? ඒ සුකොමල රතැඟිලි කිසි විටෙක නිවාඩුවක් සැනසිල්ලක් නොලබයි. එයයි ලංකාවේ ඇඟලුම් රැකියාවේ ස්වභාවය.

ජීවිතයේ හොඳම අවධිය වන තාරුණ්‍යය මැෂිමට දියකර හැරීමට ඔවුන්ට සිදු වී ඇත. දරුවන් හා මව්පියන් සමඟ සතුටු සාමීචියේ යෙදීමට, සුන්දර ස්ථානයක් නැරඹීමට යෑමට, චිත්‍රපටයක් හෝ ටෙලිනාට්‍යක් නැරඹීමට, විලාසිතා කිරීමට, සංගීත ප්‍රසංගයක් නැරඹීමට, උද්‍යාන අලංකරණ කටයුතු,යහළුවන් සමඟ විනෝදවීම්, ආගමික කටයුතු, විනෝදයෙන් විවේකයෙන් කාලය ගත කිරීම්, නව දැනුම සෙවීම් හා අත්දැකීම් ලබාගැනීම් ආදියෙන් යුත් සමනල යොවුන් වියේ විඳින සිහින මොවුන්ට බොහෝ ඈතිනි පවතින්නේ. ඔවන්ට එවන් දේ තහනම් වචන වී හමාරය. එතකුදු නොවී මෙවැනි අහිංසක තරුණියන්ගේ හැඟීම් යොදා ගනිමින් බොළඳ පොත පත ආදිය විකුණා ගැනීමට තැත් කරන වෙළෙන්දන් ද සිටීම අභාග්‍යයකි.

ගීත රචකයා ඔවුන්ගේ ශෝකාන්තය හොඳින් අවබොධ කරගෙන සිටියි. මන්ද ඇගේ කඳුලැලි සාගර දියට සම කිරීම තුළ ඔවුන්ගේ දුක කෙතරම්දැයි වැටහෙයි. ඇගේ සුසුමන් පවනක් තරම්ය. ඇගේ පිහිටට කියා කිසිවෙක් නොමැත. කම්හල ඇගේ ශ්‍රමය සූරා ගනියි. ඇගේ සිහින, බලාපොරොත්තු ගැන සිතීමට පවා කිසිවෙකු නොසිටියි. “තනි නොතනියට සෙවණැල්ලද සිටින්නෙ..” යනුවෙන් චිත්තරූප මවන පද සංයෝජනයකින් ගීතය පැබැඳී ඇත. මෙහි අවසාන පදය සියල්ල කැටි කොට කියන හද කම්පා කරවන කතාවයි. ගී පද රචකයාගේ උත්කෘෂ්ට පද සංයෝජනයේ කූටප්‍රාප්තිය අවසන් පද පෙළයි.


“ ඇඳුම ද නුඹේ ජීවිතයද මහන්නේ..”

ඔවුන් මහන්නේ තමන්ගේ ජීවිතයයි. කැටයම්, පාට, බතික්, මෝස්තර නොමැති ජීවිතයයි. ඝෝෂාත්මක මැෂින් ශබ්දය තරුණියන්ගේ හද අභ්‍යන්තයේ සැඟවෙන විලාපයට සමකිරීම තුළ සහෘදයාගේ හද ද ඈ නමින් හැඬවෙයි. මහ හයියෙන් හඬන්නේ ඇගේ හිතයි. නමුත් සියල්ලන්ටම ඇසෙන්නෙ මැෂිමේ හඬ පමණකි.

සුනිල් එදිරිසිංහයන්ගේ භාවපූර්ණ හඬ පෞර්ෂයෙන්ද, බන්දුල නානායක්කාරවසම්ගේ අපූර්ව පබැඳුමෙන්ද , රෝහණ වීරසිංහයන්ගේ සංගීත සංයෝජනයෙන්ද නිර්මාණකරනය වූ මෙම ගීතය ඇඟලුම් කම්හල් මතු නොව ශ්‍රම සූරා කෑම් සිදුවන බොහෝ කර්මාන්තයන්ගේ යකඩ සපත්තුවට පෑගෙන සුවහසක් තරුණ තරුණියන්ගේ ඉරණම සානුකම්පිත දෘෂ්ටිකෝණයෙන් ලොවට හඬ ගා කියන රැඩිකල් ගීයක් ලෙසයි මා හඳුන්වන්නේ..

ගීතය මෙතනින්

https://www.youtube.com/watch?v=UOjOfVpwr7k

සටහන – තරුෂි නවංජනා ලියනාච්චි

Friday, June 30, 2017


සිනහවකට වඩා කඳුළුවලට ආස වෙන්නෙ ඇයි?

“සිනහවකට වඩා ඔබේ කදුළු වලට
මං ආසයි..
මා වෙනුවෙන් නැගෙන කදුළු නම්..
කදුළු වලට වඩා ඔබෙ සිනහවකට මං ආසයි..
මා වටකර නැගෙන සිනා නම්..
සඳ එළියට වඩා සඳේ සඳ අදුරට
මං ආසයි..
සඳ අදුරෙ නුබ හමුවෙ නම්..
සඳ අදුරට වඩා සඳේ සඳ එළියට
මං ආසයි..
සඳ එළියේ නුඹ හමුවේ නම්..
ජිවිතයම දුකක් වුණත්..
ජිව්තයට මං ආසයි..
නුඹ ඉන්නෙ මා වෙනුවෙන් නම්

ගායනය : නෙළු අධිකාරී
පද රචනය : පී. එච්. කේ. රත්නසිරි
සංගීතය : රෝහණ වීරසිංහ

“මම ප්‍රාර්ථනා කරන්නෙ ඔයාගෙ සතුට විතරයි. හැමදාම සතුටින් ඉන්න” පෙම්වතුන්ගෙන් බහුලව අසන්නට ලැබෙන වදනකි ඒ. සතුට එළිදැක්වෙන එක් ආකාරයකි සිනහව. එසේ නම් ප්‍රේමවන්තිය සිනහවකට වඩා ඔහුගේ කඳුලකට ආශා කරන්නේ මන්ද?  තම සුහදා තමන් වෙනුවෙන් කඳුලක් හෙලීම සුහදිය අපේක්ෂා කරයි. එය ඇයට වටිනාකමක් දීමක් හා සදිසිව සළකියි. ප්‍රේමයේ උත්කෘෂ්ටියේ ආත්මාර්ථකාමී හැඟීම හා මමත්වය මේ ගීතයෙන් මොනවට හැඟෙන බවයි මාගේ විශ්වාසය. ප්‍රේමයේ සැබෑව ද මෙයයි. සියල්ලම සුහදා හෝ සුහදිය සිදු කරන්නේ තමා වෙනුවෙන්ය යන්න හැඟීයාම කෙතරම් ප්‍රීතියක්ද?. එය ප්‍රගතිශිලි, පරාර්ථකාමී, මානව හිතකාමී හැඟීමක් නොවන බව අපි දනිමු. එසේ නම් ප්‍රේමය යනු ආත්මාර්ථකාමීත්වයේම එක්තරා මුහුනුවරක් නොවේද? බොහෝ පෙම්වතුන් කැමති තම පෙම්වතිය ලොවම මෘදු ආලෝකයෙන් සනහන සඳක් කිරීමට නොව තමාට ආලෝකය දෙන නිවසේ පහනක් වනු දැකීමටයි. එය ආසියාතික සමාජ සංස්කෘතියේ පිරිමියා වඩාත් අපේක්ෂා කරන දෙයක් බවට පත්ව ඇත.
ඔහු ඇය අසළ සිටියි නම් සිනහව, කඳුල, දුක, සතුට, එළිය අඳුර යන එකිනෙකට ප්‍රතිපක්ෂ ප්‍රවාහයන් පවා ඇගේ ජීවිතයේ වදන් කිහිපයක් පමණක් බවට පත් වෙයි. ඇය සඳ එළියට වඩා සඳ අඳුරට කැමති වෙයි. ඒ ඔහු ඇය ළඟ සිටියොත්ය. ඇය සඳ අඳුරට වඩා සඳ එළියට කැමති වෙයි. ඒ ඔහු ඇය අසල හිඳියි නම් පමණි. ස්වභාදහමේ වෙනස්කම් දැනෙන සවිඥානය පිළිබඳ ඇයට තැකීමක් නැත. “ මා වෙනුවෙන් ” .. එනම් ඇය ඒ සියල්ලටම කැමති වනුයේ තමන් වෙනුවෙන් නම් පමණි.

“ජිවිතයම දුකක් වුණත්..
ජිවිතයට මං ආසයි..
නුඹ ඉන්නෙ මා වෙනුවෙන් නම්”

ජීවිතයම දුකක් වුණත් ඒ දුක අමතක කිරීමට ඇයට හැකි වන්නේ ඔහු නමින් උපන් ප්‍රේමය නිසාය. එය තම ප්‍රේමය පුද කිරීමෙන් නොනවතියි. ඇයට අවශ්‍යව ඇත්තේ ඔහුගේ ක්‍රියාකාරකම් උපරිමය තමා වෙනුවෙන් සිදු කරන ක්‍රියා බවට පත්කිරීමටයි. ඒ අනුව ප්‍රේමය යනු පරම පිවිතුරු හැඟීමක් නොව ආත්මාර්ථයෙන් වැසී ගිය ජීවිතයේ එක් ආරම්මණයක් පමණක් බව හැඟෙයි.
ඔබත් මමත් ,

“කඳුළුවලට වඩා ඔබේ සිනහවකට මං ආසයි”
යනුවෙන් කිව යුතුය. එය තමන් නිසා නැඟෙන සිනහවක් වීම සතුටක් බව දනිතත් එසේ නොවන අවස්ථා ද ඔහුට තිබිය හැකිය. ඒ දෙස බලා ඇය සතුටු විය යුත්තේ කෙසේ හෝ ඔහු සිනාවක් නැඟීම නිසාය. එහෙත්, පරම පිවිතුරු ප්‍රේමයක් අභිමුව සිනහවකට වඩා ඔහුගේ හෝ ඇයගේ කඳුලක් තමා වෙනුවෙන් වුවත් අනුන් වෙනුවෙන් වුවත් බලාපොරොත්තු විය යුතු නොවේ. මන්ද මෙහි කඳුල යන්න සතුටු කඳුලක් නොව දුක ශෝකය නිසා හටගන්නා කඳුලක් වන බැවිනි.

තම ආදරවන්තයාගේ හෝ ආදරවන්තියගේ කඳුළුවලට වඩා සිනහවට ආසා කරන්නේ නම් ප්‍රේමයෙන් වියරු වී මිනීමරාගැනීම් වාර්තා වීමට ඉඩක් නොමැත. ඒ අනුව මේ ගීයේ සඳහන් මුල් පද දෙක තුළින් නැගෙන සිනහවකට වඩා කඳුළුවලට ආස වීම ප්‍රේමයේ ආත්මාර්ථකාමී උන්මත්තක ස්වභාවයක්ම බවත් පෙම්වතුන්ගේ සැබෑ හැඟුම් කැටියක් බවත් සළකමි. අවසන අපට බහුලව අත්දැකිය හැකි ප්‍රේමය නම් ආත්මාර්ථකාමි ආශාවක් පමණකි.

සටහන – තරුෂි නවංජනා ලියනාච්චි