Thursday, February 15, 2018

The Hairdresser’s Husband – කොණ්ඩා මෝස්තරකාරිගේ සැමියා


අප යමෙකුට ආදරය කරන්නේ යම් තාක්ද එවන් වූ ආලයක් අප ද බලාපොරොත්තු වන්නෙමු. සමහර අය තම ජීවිත කාලය පුරාවටම තම ආදරණීයයන්ට ආදරය කරන බව කියති. එහෙත් සත්යය යනු යම්කිසි අවස්ථාවකදී ඔබේ ආදරය සන්තෘප්තියට පත්වීමයි. එතැන් පටන් පොදු ජනයා උදෙසා ඔවුන් එකිනෙකාට ආදරේ කරන බව පෙන්වයි. මැතීඩි සිය දිවි තොර කර ගනුයේ ඇගේ ආදරයෙන් ඈ ලද සංතුෂ්ටිය අහිමි වේ යැයි බියපත්වය.



The Hairdresser’s Husband – කොණ්ඩා මෝස්තරකාරිගේ සැමියා (ප්රංශ: Le Mari de la coiffeuse), 1990 දී තිරගත වූ ප්රංශ චිත්රපටයකි. පැට්රීස් ලැකොන්ට් සහ ක්ලෝඩ් ක්ලොට් ගේ තිර රචනයක් වන මෙය ලෙකොන්ට් “Patrice Leconte” විසින් අධ්යක්ෂණය කරනු ලැබුවකි.
ප්‍රංශ සිනමා උළෙලේදි පැට්රීස් ලෙකොන්ටා මෙම සිනමා පටය වෙනුවෙන් “ Prix Louis Delluc”.සම්මානය දිනාගනු ලැබීය. 1991 දී එය බ්රිතාන්ය ඇකඩමි සම්මාන උළෙලෙහිදී “හොඳම විදේශ භාෂා චිත්රපටය” සඳහා නම් කරන ලදී.


චිත්රපටයේ ප්රධාන චරිතය වන ඇන්ටොයින් සැමවිටම කොණ්ඩා මෝස්තරකරණයේ නිරත කතකගේ ස්පර්ශය, නොමඟ යවන විලවුන් සුවඳට ආශක්ත වූවෙකි . එපමණක් නොව ඔහුගේ පරිසමාප්ත හා පරමාදර්ශී ආදරය පිළිබඳ සිහිනය සපුරාලීමේ හැකියාව, කොණ්ඩා මෝස්තරකාරියක් සතුව ඇතැයි සිතා එවැන්නියක් ආවාහ කර ගැනීමට කුඩා කළ සිට සිහින දකියි.

මෙම චිත්රපටය ආරම්භයේ ප්රධාන චරිතය ඇන්ටොයින්ට අතීතය සිහිපත් කෙරෙයි (Flashback). තරුණ අවධියේ සිට කාන්තා කොණ්ඩා සැකසුම් ශිල්පීන් ඇසුරට ඔහු හුරුවීමත් ඒ සඳහා ඔහුගේ පවතින කැමැත්තත් ප්රේක්ෂකාගාරයට හඳුනා ගතහැකියි. මෙම චිත්රපටය පුරා විසිරී ඇති කතාව අතීතය හා නිරන්තරයෙන් සමාන්තරව සම්බන්ධ වෙයි.. ඇන්ටොයින් වරෙක සිය බිරිඳ සමඟ පවසන්නේ “අතීතය මැරිලා”යනුවෙනි. නමුත් ඔහුගේ ජීවිතයේ පවතින්නෙ යම් මට්ටමක අතීතය පුනරුච්චාරනයකි.
කුඩා කළ ඇන්ටොයින් වඩාත් ප්‍රිය කළ කොන්ඩා මෝස්තර ශිල්පිනිය සියදිවි නසා ගනියි. ඇන්ටොයින් 50 වන වියේදී විවා පත් වන කොණ්ඩා මෝස්තර ශිල්පිනිය ද විවාහයෙන් දස වසකට පසු සියදිවි නසා ගනියි. එකිනෙකට පරස්පර විරෝධී හේතුන් නිසා මෙම සිද්ධි ද්වය සිදු වෙයි. පළමු සිය දිවි නසා ගැනීමට හේතුව චිත්‍රපටයේ නිශ්චිතව සඳහන් නොවූවත් ඇය පෙම්වතුන් බොහෝ දෙනෙක් ඇසුරු කරන තනිකඩව ජීවත් වූ යුවතියකි. දෙවන සිය දිවි නසා ගැනීම සිදු කළ ඇන්ටොයින්ගේ භාර්යාව මැතීඩි මෙලොව එක් පිරිමියෙකුට පමණක් ආලය කළ යුතු යැයි තරයේ විශ්වාස කළ එකියකි. මැතීඩි ඇන්ටොයින් සමඟ ඉතා සතුටින් සැහැල්ලුවෙන් ජීවිතය ගත කළාය. එම සතුට ඇන්ටොයින් විසින් අවසන් කරනු ඇතැයි බියට පත් වූ ඇය ඔහු සමඟ එක් වූ වැසි සහිත රැයක අසළ වූ පාලමෙන් පහලට පැන සිය දිවි නාසාගනියි.
ඇන්ටොයින් සිය ළමා කාලයේ සිට පැවති අභිලාෂය ඉටු කර ඇති බව අපි දනිමු. ඔහුගේ මනඃකල්පිතය යථාවක් බවට පත් විය. ඔහු සංකේතාත්මක, ආකර්ෂණීය සම්බන්ධතාවක් භුක්ති විඳිනු ලැබීය. අවසන ඇන්ටොයින්, සිය ජීවිත කාලය පුරාම සිදු කළ පරිදි, නැඟෙනහිර සංගීතයට අනුව නැටුම් ශිල්පය ප්රදර්ශනය කරයි. කොණ්ඩා මෝස්තරකාරියක් නැවත පැමිණෙන බව ඔහුගේ අන්තිම වදනින් සනාථ වේ. ඔහු මියෙන තුරු කොන්ඩා මෝස්තරකාරියකට ඇති ආශාව මිය නොයනු ඇත.

“මගේ ආදරය, මං ඔයාට කලින් යනවා..මම යනවා ඔයාගේ ආශාවන් මියැදෙන්න කලින්..අපේ ආදරය පමණක් ඉතිරි වේවි..මම දන්නවා එය ප්රමාණවත් නොවන වග.. මම යනවා අසතුටක් පේන්න කලින් ඒ සතුටත් එක්ක..අපේ සිප වැළඳගැනීම්හි තිබූ ප්රීතිය සමඟම මම යන්න යනවා..ඔබේ සුවඳ , ඔබේ පෙනුම , ඔබේ හාදු ..මම යනවා මගේ ආදරනීයම මතකයන් සමඟ..ඔයා මට දුන්න හාදුව මම දැන් ඔයාට දුන්නා..මා ඒ මෘදු හැඟුමෙන්ම මියැදෙන්නම්..මම ඔයාටමයි ආදරේ කලේ..මම හැමදාම ඔයාටමයි ආදරේ කළෙත්..මා යනනම්..හැමදාම මාව මතකයේ තියා ගන්න..”

-සටහන – තරුෂි නවංජනා ලියනාච්චි

No comments:

Post a Comment