Tuesday, December 20, 2016

තාල අමතක ගීතය


මතකය ගලා නෙතු පියවුනා

ඔබ ගැන සිතා මා ලතැවුනා
අයාලේ ගිය ජීවිතේ
දැවී අළුවෙන ශෝක ගින්නේ
තනිවෙලා මා වැළපුනා
මලක් නොවනා ඔබේ සිත ළඟ
මලක් වූවද මගේ ගල් හිත
මවා සෙනෙහස තෙරක් නොපෙනෙන
දුර ගිහින් මං අතරමං කර
හීන අහුරක් පමණ වත් නෑ
ඉතිරි කරුවේ මගේ අභියස
හිතට හිමි නැති මායිමක අද
පාවෙනව ඇති මගේ තනි හිත
සැහැසි කම් හුරු නොවූ හිත ළඟ
ඔබෙ රුවයි සක්මන් කරන්නේ
තිස් පැයක් නුඹ ගැයූ ගීතයෙ
තාල අමතක වී තිබෙන්නේ.

Wednesday, December 14, 2016

ඇයයි මට පණ දුන්නෙ මා කවුද..


පැලගාව කුමලිගේ එබෙන දා සඳපාන
කවුළුවෙන් මා ලිස්සුනේ සහන්
දඟපාන ආලයෙන් සුවඳ මුසු කොමලාන
ඉසුරුමුනි ගිහින්වද මං හොරෙන්


කැමරාව තුඩින් ගෙන අද කාලෙ බඹරාන
ලං වුණා සුවඳ නා මල සොයන්
බැහැතාම නෙතින් නෙත හුරුනෑනෙ කුමරාන
බිම බලා වට කරන් මද සුලන්

ජීවිතේ මා පැතූ සිහින පොදි එකින් එක
ලිහන්නට ඉඩ දෙන්න රත්තරන්
බීමතේ පෙම් හොරා මුමුණමින්
නා මලේ පෙති ගාව ලතවුනා හෙමි හෙමින්

මාවතේ මල්ගාව ඉව කරන දෙබරාගෙ
පෙම්හීන එකින් එක අහුලමින්
හාමතේ සිටි බවක් රෝස මල වූ මටත්
වැටහුණා කුමලි එය නොදනිතත්

හැමදාම සේ උදේ වතුර දෝතත් අරන්
ලං වුනා මගෙ දෙපා නාවන්න
කළුවරයි ඇගෙ මූන හිනාවුණ වෙනදාට
ඇහුවා මං බැරි තැනම ඉවසන්න

සිත්තරා මගෙ ප්‍රේමෙ ඇන්දෙ සිතුවම් එදා
බමරුන්ගෙ බිත්තියේ අලවන්න
නා මලේ පෙති ගානෙ දෙබරුන්ව පිනවාවි
ලංවෙන්න මේ කඳුලු පිහදන්න

වතුර නෑ තාම මට වෙනද මං නාවලා
කම්මැලී කුමලි තව නිදි වත්ද
සුළං රොද හැමුවෙ නෑ එබෙන්නට කවුළුවෙන්
ඇගේ සිලි සිලි වදන් අද නැද්ද

දෙබරාගෙ විස වැදී මිලින වුන නාමලී
නටුවටත් ඇගෙ කඳුළු බර වත්ද
මාව උදුරා දමා මගේ යෙහෙළි සතපන්න
ඇයයි මට පණ දුන්නෙ මා කවුද..

දළඹුවෙනි

තුරුපත මත
යන එන තුරු
අසලින් ඒ
බලා සිටිය
දළඹුවෙනි
විෂ වැඩිවී
කසනු වැඩී
ඉවසනු නම්
තවත් නොහී
සිහි එලවන්
බලන විටදි
මැරී සිටිනු
දුටිමි තැලී
අමතක වී
මතු දිනෙදී
සමනලයා
වන බවකී..
16/06/13 *Tharu*

කරපිංචාවි

ඉඳුල් පහරින්
දමා ගැසු නුඹ
දරුණු වැඩි තැන
කොළත් වැටුණා
අතුත් බිඳුනා
දෙකට නැමුණා
එහෙත් සොඳුරේ
පොහොර වී එය
තවත් කලකදි
අතුත් හැදුනා
දලුත් දැම්මා
වෙනත් පැලයක්
වුනා නම් මා
නු‍ඹේ පහරින්
මියෙනු තිබුණා
එහෙත් අද මා
පිරුණු ඉති ඇති
ඔබේ කුස්සිය
සමීපේ වූ
කරපිංචාවි
ඉ‍බේ පැලවූ..
16/06/15 *Tharu*

වාක්‍යයක්

මේත්
වාක්‍යයක්
නොගැලපෙන
කොමා නැති
ලකුණු නැති
අනුක්ත
ඒත්
අවසාන තිත ඇති.
*Tharu*

ඇත්ත හිඟන්නා

ඇත්ත හිඟන්නා මම වෙමි
දූලි පිරුණු පාර අයිනෙ
හාන්සි වී වාරු නැතුව
ඇඟෙ පැත්තක් කැක්කුම් දෙයි
හැරෙනවා යනු මහ වැඩකි
ලෝකෙම අපහසු වැඩකි
සපත්තුවල ටක් ටක් හඬ
මූණත් පාගන් යාවිද...
තවත් හිඟන්නියක් ඈත
අනුන්ගෙ දරුවෙක් තියාන
සොයා ගන්න කාසිවලට
ඉරිසියාව නැත්තේ
හිඟන සංගමේ නොවුනට
මාත් හිඟන්නෙක් බව ඇයි
අමතක කර ඇත්තේ
ඒ කාලේ මාත් ඔහොම
හිඟනුන් පහු කරන්නැත්ද...
දින ගානක් හාමතේය
හඬ නැගුවත් පිට නොවේය
අව්ව වැස්ස පමණි මගේ
දුක කියන්න ඉන්නේ
දූයි පුතයි බලන්න මට
වාසනාව නැත්තේ
මැරි මැරි උපදින හැටි දැක
මරුවත් මට හිනාවුනිද...
16/06/30 *Tharu*

Friday, December 9, 2016

පාට මල්

වෙරළ ළඟ පඳුරකින් රතු මලක් කඩා ගෙන
ඔහු ඇහුවා මේක මොන පාටදැයි කියන් මට
ඈ දැක්කා ඈ කිව්වා කළු පාට මලක් බව
ඔහු කිව්වා නෑ ඒක නිල් පාට මලක් බව
සයුරු රැළි අඬගසයි අපේ පා සිපගන්න
එනවාද ඈ ඇහුවා ඔහු අතින් අදිනතර
මං එන්නෙ නෑ ඔයා ඕනෙකක් පාගන්න
ඔහු රැව්වා වාඩි වී ගිනිගහන ගලක් උඩ
සෙවන අර ගස් මුලේ ඇයි මෙහේ පිච්චෙන්නෙ
ඔලුව හරි බරයි වගේ තියාගන්නද උකුලේ
දහසකුත් ඇහුවා ඈ උත්තරත් නැති නිසා
'මං යනවා බකමූණා ඕනෙකක් කරගන්න'
පිළිගනිමි මෙය තමයි නිල් පාට ඔබ හරියි
කියා ගෙන වැඳ වැටී එන තුරා ඈ යලිත්
ඔහු බලා සිටිනවා රතු පාට මල තියන්
ඈ තවත් ලෝකයක කළුපාට මල අරන්
16/06/21 *Tharu*

කළුවරට ආදරෙයි



මැවී මැවී
මව මවා
දකින්නට
අහන්නට
විඳින්නට
මට මගේ
ලෝකයක්
ඇති තරම්
වෙලා ගෙන
තනා දෙන
භීතියට
ඉඩක් නැති
කළුවරට
ආදරෙයි
හීනයට
වඩා මං..
16/06/23 *Tharu*

පිලිමෙ ළඟ ලතවී


බැති සිත දැඩි වී
කාසිගෙන ගසාවී
එකෙක් නොව තව සුවහසක්..
මැලි කම වැඩි වී
පෝලිමට බියවී
හිත හෙව්‍‍වෙ එක නැවතුමක්..
රැලි ඇඟ මැලවී
පැත්තක්ම කොර වී
පෑවා අත මට හිඟන්නෙක්..
බැරි කම හැඟුනී
ඔහුගෙ ලෙඩ දේවී
කිරි එක්ක වෙන ඔට්ටුවක්..
දැති අතර සිරවී
සෙවූ වේලා බෝ වී
ඉතුරු වුනු එක කාසියක්..
පිලිමයත් කැතවී
දරුණු පාරින් පෑරී
තැනක කාසිය කරපු හදියක්..
ආවා රෑ බෝවී
පිලිමෙ ළඟ ලතවී
අහුල දුන්නා කාසි මල්ලක්..
සමාවුව මැනවී
වඳිමි දැන් පේවී
එවෙලෙ අම්මේ හිටපු සෙනගක්..
16/06/25 *Tharu*

අලුත් කතාවක්

බාගෙට මෙන් ලියපු පොතෙන්
හිස් කොළ ටික ඉරන් හොරෙන්
නැඟිටින විට ඇය සිහිනෙන්
ඔහු උන්නා දුරක් ගිහින්
ලියපුව තව තව කියවන්
පෙඟුණු පිටුත් තුරුළුකරන්
ඈ සිටියා පාර බලන්..
හිස් පිටු එක එක පුරවන්
අලුත් කතාවක් ලියමින්
ඔහු සිටියා මලක් ළඟින්..
16/06/26 *Tharu*

ඈතකට


එන්න මා එක්ක යං
දැන් මදැයි හිටියා ඔයි
රාමා ද මාරා ද නොහැඳිනෙම්
කාටුනත් කියන්නේ
කොහේ හරි කමක් නෑ
සාගරේ මැදක හෝ
ආකහේ උඩක හෝ
හංගහන්
කළු පාට දුම් පිරුණු
ලෝකයෙන්
ඈතකට ගෙනගිහින්
සීරුවෙන්
16/06/24 *Tharu*

ලවන් මත ලිස්සලා ඇහැරුනා


සුසීතල මා නුවන්
ඔබේ නෙත්සර වැදී
ගැටෙන විට ගලට ගල
උපන් ගින්දරක් සේ
දරා ගත නොහැකි තැන
පියවුනා රස්නයට
එ් හයිය මතුවෙලා
ඇයි තවත් ලතවෙවී
ඔබට කලියෙන් මෙමා
තැනක් නොතැනක් නැතිව
කාන්දම විලාසෙන්
අධි බලැති
ලවන් මත ලිස්සලා
ඇහැරුනා
16/06/28 *Tharu*

මරු නවතින්න මට එන්න බෑ

මධු සාදයෙදි ඔබ පෑ සිනා
දිගු රැයෙ දැක්ක සිහිනය පුරා
නෙතු පියවෙන්න මොහොතක් තියා
සිතු සේ ඔබව දකිනා නියා
මගෙ සිත ඇතත් ගත වාරු නෑ
පෙර සිනහවත් යළි එන්නෙ නෑ
රුදු කඳුලැල්ල නවතින්නෙ නෑ
සඳු අහසේය මට අයිති නෑ
මල් පරවෙන්නෙ නැතිවෙන්න බෑ
හිරු බැස යනවා නවතන්න බෑ
හිත දොඩමලුය ඔබ නිසා රෑ
මරු නවතින්න මට එන්න බෑ
16/06/30 *Tharu*

අහසෙ කවි ලියවුනා

වේලිච්ච කොළ වැටුණ නොපෙනෙන්න මාවතත්
පෑදිච්ච නිල් විලෙන් සැනසෙන්න නෑ හිතත්
රෑ වෙච්ච හින්ද මං ඔබ අරන් බෝ දුරත්
නෑදිච්ච කම් නැතුව ආදරෙන් රැකගෙනත්
මාවතේ මා අතේ එල්ලිලා කැකුලියේ
සාගතේ අද එහේ අපි නැතුව කුමරියේ
බීමතේ ඔහු එක්ක මොන සැපද දෙව්ලියේ
මා වෙතේ පෑ සෙනේ අමතකද මිහිරියේ
සිරි සිරිය නොනැගුනා සිප නොගෙන අප දෙපා
කුනු කුනුව පාව ආ පත විසින් පැවසුනා
හිත නැතුව ඔහු එක්ක බලෙන් ඔබ සැතපුනා
තව තවත් අඟිල්ලෙන් අහසෙ කවි ලියවුනා
16/06/30 *Tharu*

'eththa '

කලූමයි සුදූමයි

කලූමයි සුදූමයි නොවී
කලුයි සුදුයි වූවා නම්
ඔයා ළඟයි තාමත් මං..
කලූම ටික සාතන් වී
ම‍ා ඈතට වීසි කළා
සුදූම ටික වද දුන්නේ
මතක වේශයෙන් ඇවිදින්
සුදූම නම් ඒත් මරුය
කලුයි සුදුයි ඒත් හොඳය
එනමුත් මට ඉවසනු බෑ
ඔයාගෙ ඒ කලූම ටික.
16/07/03 *Tharu

මලගම



මගේ මලගමට විත්
මා වටේ අසුන් ගෙන
මා නැතුව හැමදේම
ඔබ කතා වූ දේය
මල් වඩම් වට වුනා
ගැසූ අතිගරු පුවරු
සාතිශය සංවේගෙ
පලකරන් බැබලුනා
මා මඟක දුටු විටත්
නොදැක්කා සේ රවන
පතිරාජ ළඟ ඉඳන්
කඳුලකුත් පිහදැම්මා
මා දිහා බලන්නත්
අමතකව ඇතැම් අය
බූරුවා කර තියන්
හයියෙන්ම හිනැහුනා
දුකේ මා අතෑරපු
මාලතී නෝනා විත්
සෝ බරව සන්සුන්ව
තෙල් ටිකක් වත් කළා
කවි ටිකක් ලියවන්න
මේ සල්ලි ටික ගන්න
බැනර් තව මදි වගේ
ඒ ටිකත් ගෙන්නන්න
ඈත පෑ දේදුන්න
මොහොතකින් හැංගේවි
මතකයන් බර සුසුම්
හනික අමතක වේවි
උඹේ පසු ඉරණමේ
සංකේතෙ මංම වේ
මට ඕන පවසන්න
හඬනගා පවසන්න
16/07/05 *Tharu*



පිපුණු වත කමල සුදුමැලිය

ඔබෙ දෑස් පියවුනේ මා ළඟදි මේ තරම්
මේ ලවන් ඔය නළලෙ නතර වුන වෙලවෙයි
ඒ වුනත් දිලිසුනා තරු දෑස් මොහොතකින්
අද දෑස් අගුලු ලා අපෙ හීන බොඳවෙලා
ඒ සුමුදු සිත් පෙත්ත පොඩි කලා සැරවචන
අද සමා අයැදුවත් ඇසේවිද මා සොඳුර
ඔබෙ පිපුණු වත කමල සුදුමැලිය සළු සේම
මේ ළයත් පුපුරයිද නොඉවසා තනි හීන
ඔබ පිදූ හුස්ම පොද සුරකිමිය මා ළඟම
භවයෙන් භවේ අපිව හමුවෙයිද මේ ලෙසට
මේ සෑය කියූ දුක ඇට මිඳුළු සිසාරා
අපේ සෙනේ මාලිගේ ගිනි තියා ඇවිලුවා
16/07/05 *Tharu*

අපාය වෙත යමි.


වැරහැලි වල කුණු
ඇඟේ නොගා යමු
ඔබමොබ හැම තැන
වැදගත් මිනිස්සු
කබොල්ල එන්නැති
පෑරෙන තුවාලෙ
බෙල්ලෙ එල්ලෙන
තඩි කළු ගල වැනි
සෙවණක් වත් නැති
ඵලයක් වත් නැති
ලපටි පැලය ගෙන
අපාය වෙත යමි.
16/07/06 *Tharu*

දහස් වරක්

එක් වදනක්
ඇසිය නොහැකි
මං ඇහුවා
දහස් වරක්
එක් සිතුමක්
නොසිතිය යුතු
මා සිතුවා
දහස් වරක්
එක් සතුටක්
ඔබ දුටවත්
සුසුම් හෙලුවා
දහස් වරක්..
16/07/06 *Tharu*

ෂූ..ටිං



පිටපතක් ඕන නෑ
එවෙලටම හදාගමු
බජට් එක හරි නේද
හෙට ෂූට් එක තියමු
අම්මලා නම් එපා
දන්නවනෙ ඒ ගමන
බෝයි ෆ්‍රෙන්ඩ්ලත් එපා
තනියෙන්ම එන්න
නංගි ඔය අැඳුම නම්
දිග වැඩියි බොහොම
කොට වුනොත් හිට් වේවි
වෙනදටත් වැඩිය
ලැජ්ජාව තියාගෙන
මේ ගමන යන්න බෑ
උඩට ගිය හැමෝමත්
මේ පාරේ ගිය එවුන්
වසරකුත් ගත නොවී
ජනප්‍රිය නිළිය වී
අපිත් අමතක වේවි
ඒවා නම් මොනාද
'දැනට නම් අමතක
නොකර ඉන්න බලන්න.'
16/07/09 *Tharu*

වේසිය

තැලුනට නිති
නොහැලුනු පෙති
විසිරෙන්නට
ගල් වැස්සක්
ඇද හැලුනා..
නිකැලැල් යැයි
සිතා ඉන්න
රළු අහසින්..
ප්‍රේමය ළඟ
දාසිය වූ..
බමරෙක් හට
වාසිය වූ..
ඇඩ්මින්ලට
කාසිය වූ..
වරදට...
අවසානේ
වේසිය විය
අහසට..
16/07/09 *Tharu*

ගිම්හානයයි වසත් සමයත්

නිල් දියට අතපොවනතර මා
විලම මගෙ බව කියූවත්
එහි පිපෙන හැම මලක් පාසා
මටම පිපුනැයි සිතූවත්
නෙත් පියන හැම වරක් ගානේ
ඔබව සිහිනෙන් දුටූවත්
සිතින් පොතටත් නොනැවතී තව
අහසෙ කව් ගී ලියූවත්
රෑට සඳ තරු බලන් ඉද්දී
ඉරිසියාවට බිනූවත්
ගිම්හානයයි වසත් සමයත්
විල පිරීගොස් තිබූනත්
16/07/10 *Tharu*

මා




වළාකුලින් තොටිලි සදා පා කරන්න මා
එක හිරු රැස් ඉරක් සොයා
කළු පාටින් පාට කළා
ඒ පාරේ මගේ ළඟට එන්න සොයා
නූල පිටින් අතාරින්න සරුංගලේ මා
ලෝ පුරාම සිරි නරඹා
සුළඟට නොයයි ගසා
ඕන උනොත් ළඟට ගන්න නූල ඔතා
වැහි එනකම් කරදහි බෝට්ටුවයි මා
වැස්සේ තෙමී තෙමී
ඈතට යමී යමී
ඔය වතුරෙම දියවි මියැදෙන්න පතා
16/07/12 *Tharu*

Thursday, December 8, 2016

මතකය

මතකය නම්
අතීතයද
ජීවිතයද
හුස්මද
හඳුනාගත
නොහැකිද
අමතක වූ
අද ඉපදුනු
දරුවෙක් සේ
ඔබ බැලුවා මා දෙස..
සිනහව නම්
සතුටක්මද
කඳුලක්මද
හිස්කමද

නෙතු සැලුනා
අඬනු බැරිව
මහ කන්දක්
හිස මත මෙන්
මා බැලුවා ඔබ දෙස..
16/07/15 *Tharu*

නුඹේ නොවන නුඹේ දෙපා'

මුළු ලොවම
පෙර ලෙසම
උදා වී බැස යයි
මා හැර දා
මා සතපා
මා නොමරා
දෙපා මරා
රතු පාටින්
පලු නැග ආ
දෙපා බදා
මා ඇසුවා
'මදුරුවන්ද
කුහුඹුවන්ද
මකුනෙක්වද
අඳුරනවද?'
මැණික් කටුව
තද කරාන
හිස ඔසවා
බලා මදෙස
පා කීවා
' ඉතින් සබඳ
නිදියනු දැන්
දැනෙනවාද
හැඟෙනවාද
නුඹේ නොවන
නුඹේ දෙපා'
මුළු ලොවම
පෙර ලෙසම
උදා වී බැස ගියා..
16/07/15 *Tharu*


මකන්නත් බැරි- ලියන්නත් බැරි
පිටු අතර සිරවී..
සොයන්නනත් බැරි - සොයන්නත් නැති
වචනයක් සොයමී..
දුවන්නත් බැරි -පනින්නත් බැරි
සිතක් ලද බැවිනී..
හබලකුත් නැති- නැවතුමත් නැති
පාරුවක් පදිමී..
දේ දුනුත් නැති- පාට දුන්නැති
අහසකුත් තිබුණා..
ගෑවුනෙත් නැති- සේදුනෙත් නැති
පැල්ලමක් තිබුණා
පේ වුනත් බැති- දැනුනෙ වත් නැති
හිතක් එහි තිබුණා
එළි වුනත් නිති- පේන්නෙත් නැති
ඇස් දෙකත් තිබුණා
16/07/18 *Tharu


බොඳ වුන සිතුවම

ගෙවන්නට ළඟ ඉඳන්
තත්පරෙන් තත්පරේ
හදේ ඇඳි සිතුවමේ
පාට පොද ගල්වන්න කලියෙන්..
පින්සලේ සෝදවපු
වීදුරුව පෙරලිලා
සිතුවමම බොඳ වුනා සැනකින්..
කටහඬත් වෙවුලුනා
කඳුළු රැලි බේරුනා
ඈත සිට අමතනා
ගල් හදට නොදැනුනා
මහන්සියි ඇවිදලා හොඳටෝම..
පිපාසය නැතිවෙනා තරමටම..
නොඑන බව පවසන්න නොහැකි වූ
අතරමඟ වෙහෙසන්න අවැසි වූ
සාතන්ගෙ අවතාරෙ නොමැකෙනා පින්තූරේ
ඔබට දැන් සතුටුයිද සොඳුරේ..
පන්සලට රිංගලා උතුරු සලුවත් නැතුව
මං හිතුවා පතන්නට
බොරුව නැති ලෝකයක්
කඳුලින්ම සෝදලා බොධියත්..
16/07/19 *Tharu*

ඔබ සහ මම


පිප්පිගෙ කවියක්


දෙනවාද ඔය පාස

අහම්බෙන් දැක්කෙ මං බත් බඳින පත්තරේ
සෞදියෙදි අම්මෙකුට වද දුන්න විස්තරේ
මගෙ අම්මා ගැන සිතා ඇවිලුනා ගින්දරේ
පියඹලා මෙහි එන්න දුක දැනෙන තත්පරේ
ඉටි බබ්බු ඕන නෑ වැලි බතක් උයන්නම්
මාළිගා ඕන නෑ පැල්පතේ වසන්නම්
හරක් කිරි ඕන නෑ තේ කහට හදන්නම්
ඉස්කෝල ඕන නෑ වීදියට බහින්නම්
හැන්දෑවෙ හැමදාම මෙහේ එක සාදයයි
තාත්තයි යාලුවොයි බයිට් එක මං තමයි
මාලැන්ටි එන්නෙ රෑ අපේ තනි මකන්නයි
බිම වැදී කුඩු වුනේ අම්මාගෙ පොටෝවයි
ප්ලේන්වල සද්දෙටයි වැඩි පුරම දැන් ආස
නංගිටත් එහෙමමලු බලන්නෙම දුර ආස
අක්කා හරි බොරුකාරි කීයක්ද දැන් මාස
තවත් බෑ රවටන්න දෙනවාද ඔය පාස
16/07/21 *Tharu*


මේ සිර කුටියේ

නොදැක ඉන්න බැරි 
තාම හොයනවැති 
එකට පිහෑඹුව
කුරුල්ලා..
එකම මූණු ටික
දැලෙන් බැලුවා මං
දොරත් කඩනු බෑ
ඉබ්බෙක්..
බලා සතුටු වන්
අසා සතුටු වන්
දුකින් පිරුණු මගෙ මූණ
"වූටි පුතා බත් කෑවා"
ඔබම ඉගැන්වූ කවිය..
මේ සිර කුටියේ
අහස උරුම නෑ
යහළුවන් ද නෑ
ප්‍රේමයක් ද නෑ
උතුම්ම පදවිය
නොලැබම නොසිතම
කූඩුවකම මා
හනික මියෙනු ඇත
රස වත් ආහර පිරුණු ලෝකයේ
කෙසෙල් ගෙඩිය සිරවී..
16/07/22 *Tharu



කල්පයක් සොයන්නෙම්

මීදුමේ කඳු අතර අතිනතින් පැටලිලා
ලෝකයම මොහොතකට අපි නිසා නැවතිලා
සීරුවේ හද රාව එකිනෙකට යාවෙලා
නොදැනීම බොරළු පිරි ගුරු පාර පහුවෙලා
නීල නිල් කැට වැටෙන වේගෙ මං කියන්නද
රෑට රත් මල් පිපෙන රාස මං කියන්නද
පීන පින් පුරාණයෙ කාලෙ මං කියන්නද
සීත සිත් රොන් විලේ පාස මං කියන්නද
‍ප්‍රේමයේ අරුත අප මේතාක් නොදන්නෙම්
ජීවිතේ පිනාගිය සිතින් යළි විඳින්නෙම්
නිමේශය කෙටියි එහි කල්පයක් සොයන්නෙම්
සිනා මිස කඳුල ගැන නොසිතාම රැඳෙන්නෙම්
16/07/23 *Tharu*

කීයද වෙලාව දන්

අවසානයේ..
දෙවියන් වහන්සේගේ කැමැත්ත
පළතුරු වට්ටියේ අල්ලසට
වෙනස් වූ වද..
මැරී වැටුනේ
Aptitude test එකට
දිව්‍යලෝක ප්‍රවේශයේ..
එම්බා..මිනිස..
ගත කළේ කොහොම දිවියක්ද..
රවටන්න හිතුවා
joke කර දෙවියට
නළුවා මමයි
රූපපෙට්ටියේ
විහිළු කර
සුවාසක් ප්‍රේක්ෂකයෝ
හිනැස්සූ
රැවැට්ටූ..
'oh.. my God..!
හිනස්සා ඉපදුනා
හඬවලා මියෑදුනා
වෙන මුකුත් මතක නෑ..'
දෙවියන් ද සිනා විය
ඈතටම ඇසෙන්නට
ඇති වෙලයි හිටියෙ
අඳෝනා අහලා
එන්න මෙහේ
ගන්න සමා
නැවතිලා ඉන්න
මාත් එක්කම..
' කීයද වෙලාව දන්
නැගිටින් නැද්ද ෂූටින්...'
16/07/25 *Tharu*


තරඟයක් රොන්ගන්න

තාරකා මල් පිපෙන රෑක නෙතුකැන් වැසී
පාවෙනා සිතින් ඔබ සමීපෙම සැරි සැරී
භවෙන් භව පැතූ බව කියූ පෙම සැලි සැලී
භාවනා කරන සිත විසිරිලා රිදි රිදී
වසන්තය හරි දුරයි හැමදාම සුළි සුළං
ජීවිතේ දරා ගනු බෑ
දිගන්තය ප්‍රේමයේ අසරණව මිය ගිහිං
යළිත් එය නැගිටින්නෙ නෑ
එක මලක් හැමදාම පිපුණු නිල් විල් තෙරේ
දහසකුත් එක් වරම මල් පිපුන
එකම කුසුමක් ළඟින් නැවතෙනා බමරිඳුට
දැන් දැන්ම තරඟයක් රොන්ගන්න
එක්ව පැතු කෝටියක් උන්මාද පැතුම් පොදි
තනි සිතට සිදුවෙලා වාවන්න
හද ගැහෙන හඬ අසා ගැහුණු මේ හදවතට
දරුණු පහරක් වැදිලා මියැදෙන්න
16/07/23 *Tharu*


නිදිකුම්බා

දුක දැනිලා නිදිකුම්බා
කටු තිබුනට වාවගන්න බෑ
හැකිලෙන්නේ හිත රිදිලා
මල් පිපුනට නවත්තන්න බෑ
මාලිගාවේ කුමාරියට මගේ හීන පූජ කලා
සඳලුතලේ දිහා බලා බිම බලන්න පුරුදුවුනා
කුසගින්නේ රැස් බලන්න එදා ඉදන් සිද්ද වුනා
රෑට හීන නොපෙනෙන්නට නොනිදා රෑ පහන් කළා
පෝර වතුර හොඳින් උරා
රෝස පඳුර උදම් වෙලා
නිදිකුම්බා උදුරා දා
ආකාසෙට විසිකෙරුවා
කල් තිබුනා දුක ගෙවෙන්න මාලිගාව බිඳුනු හින්දා
ගල් තිබුනා හිත හැදෙන්න කටු වගේම දැනුනු හින්දා
මල් තිබුනා බිම වැටෙන්න වැදුනු පාර දරුනු
හින්දා
මුල් තිබුනා දළු දාන්න ඒ පසටම වැටුනු හින්දා
16/07/26 *Tharu*


මුරුගසන් වරුසාව

වැසි වැසී අනෝරා
සිනිඳු පෙති රිදුනාවෙ
පායනා පසු දැනෙන
නල පහස විඳින්නෙම්
උදැහැනම පිනි සලා
නැහැවුවත් පෙති පුරා
මුරුගසන් වරුසාව
යළිත් පෙති පාරවා
නොවහිනා බවක් නම්
සිතන්නද කෙසේ නම්..
16/07/31 *Tharu*



එකෝමත් එක රටක,

නවතින්න අද මෙහේ
ඉරට ඇයි බය මෙහෙම
'කීදෙනෙක් එනවාද යනවාද'
ඒත් බුදු මහත්තයො
මට මෙහෙම හිතිලා නෑ කිසිදිනේ..

දෙනවා ඔය යතුර මෙහෙ

එළිවෙලා හොඳටෝම
කවුරුවත් දැක්කොතින්
හැමදේම කපෝතියි ගෑණියේ..

ගල් හිතක් විවර කල

යතුර ඔය හදවතයි
එකම එක මොහොත මේ
යන්න දෙන්නේ කෝම මා ඉතින්..

මෙන්න පඩි පැකට්ටුව

අරන් දොර අරින්නකො
වෙනදාට නයිට් කර
මේ වෙද්දි ගෙදර මං දෙවියනේ..

සල්ලි මට වැඩක් නෑ

හැමෝගෙම අතින් දෙන
ආදරේ දෙන්න මට
කවුරුවත් නොදුන් දෙය කිසිදිනේ..

අමතකද ගෑණියේ

දරුවො දෙන්නා මගේ
එයත් දැන් බලන් ඇති
පිස්සු හැදිලද තමුසෙ කියවන්නෙ

මටත් දරුවෙක් ඕන

ලග ඉන්න නලවන්න
ඔයාගෙම ඇස් තියෙන
අබිරහස් තාත්තෙක් හරි ඉන්න..

16/08/01 

ධනන්ජය කරුණාරත්න මහතාගේ රේඩියෝ නාට්‍යක් ඇසුරින් පිප්පි ලියූ කවියක්..



මටම හිමි තැනක් කෝ

'දුක' නටා නැටුමකුත්
මා වෙතට දිව ආවා
ලඟ උන්නා හැමදෙනා
ඒත් මට කැමති නෑ
රිංගුවත් හද අරා
මා පිටට නෙරපුවා
කඳුළු උල්පත් හදා..
මටම හිමි තැනක් කෝ
රැඳෙන්නට දිගු කලක්
ඇස් දෙකක් හමුවුනා
කඳුළු තහනම් වෙනා
බිඳක් වත් නොතිබුනා
සාගරේ පරදලා හෙලු නිසා..
දුක ඇතත් නෙතු කෙවෙනි නොපෙඟෙනා..
16/08/04 *Tharu*