Wednesday, December 14, 2016

ඇයයි මට පණ දුන්නෙ මා කවුද..


පැලගාව කුමලිගේ එබෙන දා සඳපාන
කවුළුවෙන් මා ලිස්සුනේ සහන්
දඟපාන ආලයෙන් සුවඳ මුසු කොමලාන
ඉසුරුමුනි ගිහින්වද මං හොරෙන්


කැමරාව තුඩින් ගෙන අද කාලෙ බඹරාන
ලං වුණා සුවඳ නා මල සොයන්
බැහැතාම නෙතින් නෙත හුරුනෑනෙ කුමරාන
බිම බලා වට කරන් මද සුලන්

ජීවිතේ මා පැතූ සිහින පොදි එකින් එක
ලිහන්නට ඉඩ දෙන්න රත්තරන්
බීමතේ පෙම් හොරා මුමුණමින්
නා මලේ පෙති ගාව ලතවුනා හෙමි හෙමින්

මාවතේ මල්ගාව ඉව කරන දෙබරාගෙ
පෙම්හීන එකින් එක අහුලමින්
හාමතේ සිටි බවක් රෝස මල වූ මටත්
වැටහුණා කුමලි එය නොදනිතත්

හැමදාම සේ උදේ වතුර දෝතත් අරන්
ලං වුනා මගෙ දෙපා නාවන්න
කළුවරයි ඇගෙ මූන හිනාවුණ වෙනදාට
ඇහුවා මං බැරි තැනම ඉවසන්න

සිත්තරා මගෙ ප්‍රේමෙ ඇන්දෙ සිතුවම් එදා
බමරුන්ගෙ බිත්තියේ අලවන්න
නා මලේ පෙති ගානෙ දෙබරුන්ව පිනවාවි
ලංවෙන්න මේ කඳුලු පිහදන්න

වතුර නෑ තාම මට වෙනද මං නාවලා
කම්මැලී කුමලි තව නිදි වත්ද
සුළං රොද හැමුවෙ නෑ එබෙන්නට කවුළුවෙන්
ඇගේ සිලි සිලි වදන් අද නැද්ද

දෙබරාගෙ විස වැදී මිලින වුන නාමලී
නටුවටත් ඇගෙ කඳුළු බර වත්ද
මාව උදුරා දමා මගේ යෙහෙළි සතපන්න
ඇයයි මට පණ දුන්නෙ මා කවුද..

No comments:

Post a Comment