Thursday, December 8, 2016

වාරු නැතුවම වැහැරිලා

කිරි පිරී බර වී තිබූ
දෙතන ඇත දැන් වැහැරිලා
මුව තියාගෙන ඉරූ දරුවන්
සමුදුරේ ඉම නැවතිලා
සදා කරගැට ආපු දෑතත්
වාරු නැතුවම වැහැරිලා
නොමැකෙනා සේ ඇඳුනු පැල්ලම්
මතකයන් වේ තනි මකා
මෑවූ සහසක් හීන හැබැහින්
කොහේ හෝ ඇත ඉටුවෙලා
දෑස් අභියස දැකිය නොහැකියි
පවක් මගෙ ඉස්සර වෙලා
මගෙ රජානෝ මාව හැරදා
මරුව සමඟින් ගියපු දා
දැනුන දුක සාගරේ පරදා
තවම හදවත කකියනා
බුදුන් පෙන්නූ පළමු සත්‍ය
මංම නොවෙදැයි හිතෙන වාරය
කඳුළු තව නෑ හෙලූ තරමට
ජීවිතේ හැමදාම තාරය
නෝනා මහතුනි මේ හිඟන්නී
අහර පිඬකට අත පාන්නී
පුතුන් දෙවියන්ගෙන් යදින්නී
රියන් හතරයි උරුම වන්නී


No comments:

Post a Comment