Thursday, December 8, 2016

ගම අමතක නෑ


වෙනදටත් වඩා ලං වුණා අහස
ඒත් මං ආස දුර මැවෙන පහස
ගස් අස්සෙ පේන හෙවනැල්ලෙ රහස
සඳ පේන රෑක නැති කොළඹ අහස
අම්මාගේ අතින් උයන බත් කටක්
මැවූ දිවබොජුන් රස කරන් මතක්
ලුණු මිරිස් නැතුව ගිලුන බත් පිඬක්
වතුර පොද පවා නෑ මෙලෝ රහක්
අම්මා විදිහටම මහත් සෙනෙහසින්
බෝඩිමේ අැන්ටි බැලුවෙ මදහසින්
ගාස්තුව අතේ තැබූ පමණකින්
කාසිමද ලෝකෙ සිතුනි මට ඉතින්
කුණුහරුප වුනත් මෙහේ හරි පොෂ්
ඉංග්‍රීසියෙන් සොඳින් ගැළපුවොත්
කෑම කන කඩේ පොටොවක් මාත්
දාන්නද අම්මෙ බලනවද ඉතින්
පොඩි එවුන් මෙහේ උඩ මහලේ ඉඳන්
සරුංගල් යවති ගෙනත් කඩ පොලෙන්
කඩිත්තෙන් පැනලා වෙල් යායෙ දුවන්
බන්ටු හැදු නයා මැවුවා මා හිතින්
බේරෙ වැව ළඟින් යද්දි මං අම්මේ
ගමේ දොල ඉවුරෙ මල් සුවඳ සෙව්වෙ
ඉර පවා හරිම ගොරහැඬියි මෙහේ
උණු වෙන්නෙ කාසි විතරක්ම නෙවෙයි
අප්පු මාමාගෙ තෙමුණු ගේ වගෙද
මාලිගා මෙහේ බල්ලන්ට පවා
තාප්පෙන් වැහුනු ජීවිතේ පළල
කුලීයට ගත්ත මල්ශාලාවෙ ඇත්ද


No comments:

Post a Comment